පළමු පෙම - කෙටි කතාව


පළමු පෙම




කෙතරම් වෙහෙසකර වුවත් ජීවිත ගමන යා යුතුමය. ඒත් ජීවිත ගමන දෙපයින් යාමට නම් අතේ මිටේ යහමින් මුදල් හදල් තිබිය යුතුය. මුදල් සෙවීමට නම් රස කර කර කෑ යුතු නීරස ‘කට්ට’ ගැන සිහිවන විට නම් ජීවිත ගමන නවතා දැමීමටම සිතේ.

සිරිතක් ලෙස දවසට තුන් හතර වතාවක් ඒ එකම සිතිවිලි සයුරේ කිමිදෙන මම එදා සිටියේද සිතිවිලි සයුර පතුලේමය. අවුරුදු දෙක තුනක මේ ඒකාකාරී ජීවිතය පිළිබඳව මහත් වෙහෙසට පත් වී සිටි මම කාර්යාලයේ අවුරුදු දහයක් පහළවක් තිස්සේ සේවය කරනා අයට බෙහෙවින්ම අනුකම්පා කළෙමි. එහෙත් ඔවුන් සෑම දෙනාම තමන් ලෝකයේ සිටින ප්‍රීතිමත්ම සේවකයා බව පෙන්වීමට වෑයම් කළහ. මගේ මේ ඒකාකාරී දිවියේ පාළුව කාන්සිය මකන්නට කෙනෙක් තවමත් මට හමු වී නොතිබිණි.

මා සේවය කරන අංශයේ තරුණියන් කිහිප දෙනෙකුම සිටියත් ඔවුන් මට පෙනුනේ උපන් කැත වසා ගන්නට ගොස් තවත් කැත වුනු සක්කරවට්ටම් ලෙසිනි. ලස්සන වන්නට කියා ඔවුන් කරනා විච්චූරණ මට ඇල්ලුවේම නැත. කාර්යාලයේ පිළිවෙලකට ඇඳුමක් හඳින, පිළිවෙලකට කොණ්ඩයක් පීරන කෙල්ලක් බෙහෙතකටවත් සොයා ගැනීමට නැත. ඔවුන් දුටුවිට විවිධාකාර හැඟීම් පහළ වුවත් සිත පහන් කරනා ආදරණීය හැඟීමක් නම් ඇති වන්නේ නැත. මමත් මේ කාන්තාරයේ ආදරය නම් ජලය සොයා යන ඔටුවෙක් වීමි.

සිතුවිලි සාගරයේ මාළු බාමින් ඇස් දෙක ලැප්ටොප් තිරයේ අලවාගෙන සිටි මට රිදී සීනු හඬක් ඇසුනේය. මේ කාර්යාලයේ කොයින්ද රිදී සීනු ? හිස ඔසවා බැලූ මට දකින්නට ලැබුනේ මා ඉදිරියේ සිටගෙන සිටි තරුණියකි. ඉඳ හිට හෝ රිදී සීනු කට හඬවල් ඇති කාන්තාවන් සිටිනා බව මා දැනගත්තේ එදාය.

“මට මිස්ටර් ගුණතිලකගේ කැබින් එක පෙන්වනවද?”

මොකාද මේ තිලක? ඇය මට කතා කරනා විට මා මෙතෙක් දැක ඇති සුන්දරතම සිනාව දුටුවෙමි. ඒ දුටු මට මගේ නමත් අමතක වූ විටක කොහෙවත් සිටිනා තිලකයක් මතක් වේවිද? ඇය කාර්යාලයේ සිටිනා කෙල්ලන් මෙන් සුදු නැත; තලෙලුය. කොණ්ඩය පිස්සියක් සේ කඩා දමා නැත; අශ්වයෙකුගේ වලිගය මෙන් හිටින්නට එකට ගැට ගසා තිබුනේය. දෙතොල් මත කියුටෙක්ස් ගා තිබුනේ නැත. ඇඟිලි මත ලිප්ස්ටික් ගා තිබුනේද නැත. එහෙත් ඒ මා දුටු ලස්සනම කාන්තාව විය. දවසට තුන් වරක් බැගින් කෑමට පසු ඇසෙන මගේ අඳෝනාව ඉවසන්නට බැරිම තැන දෙවියන් මා ඉදිරියට ඔහුගේ දියණියක් එවා ඇත.

“මේ අයි.එම්. සෙක්ෂන් එකේ මැනේජර් ?”

දෙයියෝ සාක්කි ! ගුණතිලක යනු අපේ බොසාගේ නමය. බොහොම අපහසුවෙන් වචන ගොතා ගත් මම ඇයට බොසාගේ කාමරය පෙන්වූයෙමි.

“තෑන්ක්ස්”

ඒ වචනයත් සමඟ පිටවූ ඇගේ හුස්ම වායු සමීකරණය නිසා සිසිල් වූ වායුව කපා ගෙන’විත් මගේ සියොළඟ උණුසුමකින් වෙලා ගත්තේය. සිත උමතු කරනා අර සිනහවෙන් යළිත් මා මෝහනය කළ ඈ ගුණතිලක මහතාගේ කාමරය දෙසට ගියාය. කාමරයට ඇතුළු වන තෙක්ම ඇගේ ගමන දෙස බලා සිටි මට සිහි වුනේ ගසකින් පහළට බේරී සුළඟට සෙලවෙන මල් වැලක්ය. වෙනදාට නම් මෙවන් මොහොතකදී සරාගී සිතුවිලි වැව වාන් දැමුවද අදනම් මෙතෙක් කල් වියළී ගොස් තිබූ ප්‍රේම ඇල්ලෙන් මහා දිය දහරාවක් කඩා හැලෙන්නට විය.

ඉන්පසු සෑහෙන වෙලාවක් යනතුරු මා දෑස් දල්වමින් ගුණතිලක මහතාගේ කාමරය දෙස බලා සිටියෙමි. තවමත් ඇය නැත. මේ දිනවලදී මම කාර්යාලයෙන් මට ලබාදුන් එක්තරා පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. මා කාර්යාලයෙන් බැහැර වන්නේ අන් අයට වඩා දෙපැයක් වෙලාසනින්ය. ඒ මට පාඨමාලාව වෙනුවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාදයකි. මේ හේතුවෙන් මට තවදුරටත් කාර්යාලයේ රැඳී සිටීමට නොහැකි නිසා මම කාර්යාලයෙන් පිටත් වූයෙමි.

වෙනදාට මා කඩිමුඩියෙන් බෝඩිමට දිව යන්නේ කාර්යාලයෙන් ලබා දුන් පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව ලැබෙන උසස් වීම් හා පඩි වැඩි කිරීම් ගැන සිහින මවමිනි. එහෙත් අද මම බස් නැවතුම්පලට ගියේ ගාටමින්ය. යමින් ගමනුත් හැරි හැරී පිටුපස බැලුවේ ‘අරයා’ බස් එකක් ගන්නවත් එනවා ඇතිය යන බලාපොරොත්තුවෙනි.

ඔහේ යන්නං වාලේ ඇවිද ගිය මම බසයකට ගොඩ වූයෙමි. නැවත වරක් ඒ සුන්දර දසුන දැක ගැනීමේ ආශාවකින් සිත පෙළෙන්නට විය. වෙනදාට අප්‍රසන්නව පෙනෙන වටපිටාව පවා අද සොඳුරු සිතුවමක් සේ දිස් වෙයි. වෙනදාට සොඳුරු ලෙස පෙනුණු දේ අද වඩාත් සොඳුරු වී පෙනෙයි. වෙනදාට කන්දොස්කිරියාවක් වන කොන්දොස්තරගේ කෑගැහිල්ල අදනම් විනෝදයට හොඳ විහිළුවකි.

“ඉස්සරහට යන්න ඉස්සරහට යන්න”
“පස්සට යන්න පස්සට යන්න”

බසය ඉදිරි කොටසේ සිටින විට පස්සට යන්න’යි කියමින් මිනිසුන් තල්ලු කරන කොන්දා මීළඟ නැවතුමේදී කඩිමුඩියේ බසයෙන් බැස නැවතත් පිටුපස දොරටුවෙන් ඇතුළු වෙයි. ඉන්පසු ඔහු බෙරිහන් දෙන්නේ ඉස්සරහට යන්න’යි කියමිනි. බස් එක මැදට වී දෙපැත්තෙන්ම තෙරපෙන මිනිසුන් කොන්දොස්තරගෙන් නොනැවතී ඔහුගේ මුළු පරම්පරාවටම පින් අනුමෝදන් කරයි. වාහන වලින් පිට වන දුමාරය උදෑසන වටපිටාව වෙලා ගන්න මීදුම් සේලයක් සේ දිස් වෙයි. තද වුනු බස් ඩ්‍රයිවර්ලා තරඟයට නාද කරනා නලා හඬ අදනම් රොමෑන්ටික ට්‍රම්පට් වාදනයකි. බස් රථය තුළ වායු දූෂණය කරමින් හමන හපුටු දහඩිය ගඳ අදනම් මල් සුවඳකි. වෙනදාට ඉතුරු රුපියල වෙනුවෙන් කොන්දොස්තරට යුද්ධ ප්‍රකාශ කරන මම අදනම් රුපියල් පනහක්ම අඩුවෙන් ඉතුරු ලැබුනත් ගණනකට නොගත්තෙමි.

මිනිස් සිතත් මහා පුදුමාකාර දෙයකි. චිත්‍රපටිවල හා නවකතා වල පළමු හමුවේදී ඇතිවන ප්‍රේමකතා ගැන දැන ගෙන සිටියත් කිසිදා සැබෑ ජීවිතයේදී එය අත්විඳ නොසිටියෙමි. මා සිතා සිටියේ තවත් කෙනෙක් සමඟ ආදරයක් ඇති වීමට නම් සෑහෙන කාලයක් තිස්සේ දැන හඳුනා ගෙන දෙදෙනාට දෙදෙනා හොඳින් තේරුම් ගත යුතු බවකි. පාසල් වියේ සිටි පෙම්වතියන් කිහිප දෙනා ගැන කිසිදා සැබෑ ආදරයක් ඇතිවී නොතිබුනේ එබැවිනි. නමුත් තත්ත්පර කිහිපයකට පමණක් මා ඉදිරියට පැමිණි තරුණියක් මා ප්‍රේමයෙන් මුසපත් කර ඇත.

කුරුඳුවත්ත හරිය පසු කරනවාත් සමගම මා සිදු කළ මෝඩ කමේ තරම මට වැටහී ගියේය. දෙවියන් මා වෙත එවූ ත්‍යාගය කාර්යාලයේ තනිකර දමා මම ගෙදර යමින් සිටින්නෙමි. පළමු වරට දුටු සැනින් ඇති වූ ප්‍රේමය මෙසේ කෙළවර විය යුතු නැත. කරගන්නා දෙයක් අදම කර නොගත්තතෝතින්... ! ඇය කවදා යළි මුණ ගැසේවිදැ’යි දන්නේ දෙවියන් පමණකි. හරිනම් මා සිදු කළ යුතුව තිබුනේ කෙසේ හෝ ඇය සමඟ වචනයක් දෙකක් කතා කර දැන හඳුනා ගැනීමයි. හින්දි චිත්‍රපටිවල සිදුවනවා සේ ඇය මගේ ඇඟේ හැප්පී මොනවා හෝ බිම වැටීම, ඇගේ කුඩය මගේ මේසය මත දමා යාම හෝ ඇගේ වාහනයෙන් මට ලිෆ්ට් එකක් දීම වැනි දෙයක් සිදු වූවානම් කතාවේ හැටියට අවසානයේදී අප දෙදෙනා ආලයෙන් බැඳෙනු ඇත. ඉන්පසු තාලයට අත්පුඩියක් ගසා ගන්නවත් බැරි අපේ කාර්යාල සගයින් අප දෙදෙනා වටා ගී කියමින් නටනු ඇත. කෙසේ නමුත් කතාවේ වීරයාගේ මෝඩ කමින් මේ ආදරය නිෂ්ක්‍රිය වනු ඇත. නැත, මේ පිටපත වෙනස් කළ යුතුය. සමහරවිට ඇය තවමත් කාර්යාලයේ සිටිය හැක. මා කාර්යාලයෙන් පිට වී ගතව ඇත්තේ තවමත් පැය භාගයකි. දැන් කතාවේ ප්‍රධාන දුෂ්ඨයා වී ඇත්තේ මරු විකල්ලෙන් බසය එලවන ඩ්‍රයිවරයාය. බසයේ සීනුවත් සමඟ වෛරයක් පිරිමහන්නා සේ සීනුව නාද කළ මම මගේ තල්ලුවෙන් විසි වී මට රවා බලන මිනිසුන්ට බම්බු ගසා ගන්නට කියා බසයෙන් බැස ගත්තෙමි.

ඊට මද වෙලාවකට පසු නැවතත් මා සිටියේ කාර්යාලයේ දොරකඩයි. කාර්යාලයේ සිකුරිටි අන්කල් වපර බැල්මෙන් බලා සිටියදීම මම හනිකට කාර්යාලයට ඇතුළු වුනෙමි. මා සේවය කළ අංශයට ගිය මම සතර අත දෑස් විදහාලමින් ගුණතිලක මහතාගේ කාමරය දෙසට ගියෙමි.

“කපිල මොකෝ මේ ආපහු ඇවිත් ?” අපේ කට්ටිය අසන්නට විය.

“නෑ..මේ..අර...මගේ..මේ... පෑනක් දාල ගියානේ.”

“පෑනක්? මොකක්ද හලෝ පෑනක් ගන්නද මේ ආපහු ආවේ ?” එහි සිටි කෙල්ලක් මගෙන් ඇසුවාය.

“අඃහ්.. ඒක...මට කෙනෙක් දීපු එකක්. ඒකයි” මගේ මෝඩ උත්තරය ගැන මටම හිතින් බැන ගනිමින් මම අමාරුවෙන් ඊට ගැලපෙන උත්තරයක් ගොතා ගත්තෙමි.

“ආ...වුෂ් ! කව්ද ඔයාගේ ගර්ල්ද ?” එසේ අසමින් ඇය අනෙක් කෙල්ලන් සමග කැකිරි පලන්නට විය. ‘මේ සමයමටත් ඕන නැති දෙයක් නෑ.’

“ඔව් ඔව් ගර්ල් තමයි”

තවත් කතා කරන්නට නතර නොවූ මම මගේ මේසයට ගොස් බොරුවට ලාච්චුව ඇවිස්සුවෙමි. අනතුරුව ගුණතිලක මහතාගේ කාමරය අසල වූ ඩිස්පෙන්සරය අසලට ගොස් වතුර බොනගමන් වීදුරු අතරින් ගුණතිලක මහතාගේ කාමරය තුළ බැලීමි. කාමරයේ ගුණතිලක මහතා පමණක් දුරකථනයෙන් කාටදෝ කතා කරමින් සිටියි. එසේනම් මා ප්‍රමාද වැඩි වී ඇත. අතට දුන්නු දේ කටට දාගන්න බැරි උනා සේ මට දැනුනි.

‘නෑ..නෑ..! ’
අද මඟ හැරුනා උනත් ඇය නැවතත් මට මුණ ගැසෙනු ඇත. ඒ බලාපොරොත්තුව නැති කර ගැනීමට තවමත් හොඳටෝම වේලාසන වැඩිය. සාමාන්‍යයෙන් ඇය පැමිණ සිටියේ අපේ බොසාට කියා වැඩක් කරවා ගැනීමට නම් අනිවාර්යයෙන් ඇයට තව දවසක් දෙකක් මෙහි පැමිණීමට සිදු වනු ඇත.

එයට එක හේතුවක් නම් ගුණතිලක මහතා වැඩ කරන්නේ චිත්‍රපටයක ‘ස්ලෝ මෝෂන්’ දර්ශනයක් රඟපාන්නා සේය. අනෙක් හේතුවනම් ඔහු හොඳ ‘කුකුලෙක්’ වීමය. ‘එකත් අතකට ඒකත් හොඳට ගියා’ කියා සිතමින් මා නැවතත් මහා පාරට වැටුනේ කාර්යාල සගයින්ට ‘සී යූ’ කියමිනි.

දකින දකින තරුණිය ඇය මෙන් පෙනෙද්දී මම මල් වරුසා මැදින් බෝඩිමට ඇතුළු වුයෙමි. බෝඩිමේ කාමර හතරකි. එහෙත් දැනට එහි කුලියට සිටින්නේ මා පමණකි. එයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ බෝඩිමේම අයිතිකාරියයි. මා මෙහි පැමිණි මුල්ම දවස් වල මගේ කාමර සඟයා වූයේ මට වඩා දෑවුරුද්දක් පමණ බාල තරුණයෙකි. ඔහු දුරබැහැර ගම් පළාතක සිට නගරයට පැමිණ තිබුනේ සම්මුඛ පරීක්ෂණ කිහිපයකට මුහුණ දීම සඳහාය. මා පැමිණි දවසේම ඔහු මට උපදෙස් දුන්නේ සුභ ගමනකට පිටවෙනවානම් සෑම විටම බෝඩිමේ දොර වෙනුවට ජනේලය භාවිතා කරන ලෙසටයි.

ඔහු පැමිණි මුල් දවස් වල මුහුණ දුන් එකදු සම්මුඛ පරීක්ෂනයකටවත් නිසි පිළිතුරක් ලැබී නොතිබිණි. දීර්ඝ ලෙස විමර්ශනයක යෙදී සිටීමෙන් අනතුරුව එයට ප්‍රධාන හේතුව ලෙස ඔහු නිගමනය කළේ සෑම දිනම ඔහු බෝඩිමේ දොර හැරගෙන එළියට බැස ගේට්ටුව දක්වා ගමන් කරන අතරතුර කොතැනකදී හෝ බෝඩිම අයිතිකාරිය මුහුණට මුණ ගැසීමයි. එසේ මුණ ගැසුණු පසු ඔහු පත් වන්නේ මහා ව්‍යසනයකටයි. බෝඩිමේ අයිතිකාරිය තම පයේ සුළඟිල්ලේ පටන් ඉසේ ඇති සුදු කෙස් ගස් දක්වා වූ ශරීරයේ සෑම ඝන අඟලකම රුදාවන්, රෝගයන්, ඒවා පෙන්වීමට ගිය වෛද්‍යවරුන්, ඒ වෛද්‍යවරුන්ගේ අනියම් භාර්යාවන්, ඒවාට දුන් බෙහෙත් සහ ඒවාට ගිය වියදම් ආදිය පිලිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරයි. මේ ලෝකයේ ඇති සියලුම රෝගයන් තමන්ට ඇතැයි මහා අභිමානයකින් යුතුව පවසන ‘බෝඩින් ඇන්ටිගෙන්’ අමාරුවෙන් ගැලවෙන ඒ තරුණයා මාත් සමඟ කීවේ එවන් දවසක තම සම්මුඛ පරීක්ෂණයන් අසාර්ථක වනවා පමණක් නොව තම පෙම්වතියගේ තුරුලේදී පවා තමන්ට ‘ඉස්පිරිතාල ගඳක්’ දැනෙන බවකි.

කෙසේ හෝ අත්හදා බැලීමක් වශයෙන් දිනක් බෝඩින් ඇන්ටි මුහුණට මුලිච්චි නොවීම සඳහා ඔහු ජනේලයෙන් කෙලින්ම පාරට පැනගෙන තම කාර්ය සඳහා ගොස් ඇත. එදා සම්මුඛ පරීක්ෂණය සමත් වූ ඔහු අද රටේ සුපතල සමාගමක ගණකාධිකාරවරයෙකි.

අලුත ඇති වූ බලාපොරොත්තුව නිසා කෑම රුචියද වැඩි වී ඇති සෙයකි. වෙනදා බල්ලෙකුටවත් කා නොහැකි බෝඩිමේ රෑ කෑම වේල අද රජ බොජුනක් සේ ගිල දැමුවෙමි. වෙනදා පුරුද්දට කෑම ගැනීමෙන් අනතුරුව පාඩම් වැඩ කිරීමට පොතක් අතට ගත්තද පොතෙහි අකුරු අතරින් මැවෙන්නේම ඇගේ රුවය. පොත පෙරලා ගෙන සිටි මම ඔහේ එදෙස බලා සිටියෙමි. වෙනදාට පාඩම් කරන වෙලාවට මා උත්තේජනය කරන උසස් වීම්, පඩි වැඩි වීම් ආදිය පිලිබඳ සිතුවිලි අද අසමත් විය. මා දුටු ඒ රුව සියල්ල යටපත් කරමින් මගේ මනසේ පිස්සු නටන්නට විය. නිකම් පොත දිහා බලාගෙන සිටි පලියට එහි තිබෙනා දේවල් මගේ මොළයට ‘අප්ලෝඩ්’ නොවන නිසා පොත පසෙකට දැමූ මම කොට්ටයක් තුරුළු කරගෙන නිදා ගන්නට ගියෙමි. ලෝක සම්මතයට අනුව එය කොට්ටයක් වුවත් ඒ මොහොතේදී එය කොට්ටයක් නොව ‘අරයා’ ය.

පසුදින උදයේ වෙනදා සේම කුණුකෙල පෙරාගෙන ඇහැරුණු මම මුහුණ කට සෝදාගෙන හොඳින් පිරිසිඳු වුනෙමි. මා සතු හොඳම ඇඳුම හැඳගත් මම එදා බෝඩිමේ දොර වෙනුවට ජනේලය භාවිතා කිරීමට වග බලා ගත්තෙමි. මහත් ප්‍රබෝධයකින් යුතුව මම කාර්යාලය බලා ගමන් කළෙමි. මොන හේතුවක් නිසා වුවත් මටනම් සිතෙන්නේම ඇය අදත් කාර්යාලයට එන බවකි. එසේ ආවොත් අදනම් නිකන් බලා නොසිටිය යුතුය. පළමුවෙන්ම ඇය දකින විට මම මගේ හොඳම සිනාවෙන් ඇයට සංග්‍රහ කළ යුතුය. එවිට මගේ කහ පැහැති දත් නොපෙනීමට ප්‍රවේසම් වීමටද මම තරයේ සිත ගත්තෙමි. එතැනින් පටන්ගෙන මම කළ යුතු සියලු දෑ සැලසුම් කළෙමි.

කාර්යාලයට පිවිසෙන විට වෙනදා තිබෙන මූසල ගතිය අදනම් දැනුනේ නැත. මම සියල්ලන් සමඟම සිනාසී මගේ මේසයට පැමිණියෙමි. ලැප්ටොප් එක දිගහැරගත්තත් වැඩට සිත යොමන්නට අපහසුය. ඈ සමඟ විවාහ වීමෙන් අනතුරුව කළ යුතු සියලු දෑ මම සැලසුම් කරන්නට ගත්තෙමි. බොහෝ වෙලාවක් යනතුරු මම කල්පනා කළේ මධුසමය ගත කිරීම සඳහා පිට රටකට යනවාද නැතිනම් මෙහිම ඉන්නවාද යන කාරණාවයි. ඉන් පසු මම මගේ සිතත් සමඟ වාද කළේ ‘දුවෙක් ද හොඳ පුතෙක් ද හොඳ’ යන කාරණාව ගැනයි. දන්නෙම නැතුව වෙලාව මධ්‍යහනයටද ආසන්න වී ඇත.

ඔන්න ටික වේලාවකින් කාර්යාලය හරහා මල් සුවඳ මුසු වුනු මද සුළඟක් හමා ගියේය. හිස ඔසවා බැලූ මට දැකගන්නට ලැබුණේ දෙව්දුවක් මෙන් අවට ඒකාලෝක කරමින් පැමිණෙන ‘අරයා’ය. කෙස් වැටියෙන් මිදුණු කෙස් රැල්ලක් ඇගේ පියකරු කොපුල පිසිමින් සුළඟට හසුවී සෙමින් සෙලවෙයි. අහෝ එවන් සුන්දරත්වයක්! එවන් සිනහවක්! මගේ මේසය පසු කරනවාත් සමඟම මම ඇය හා සිනාසුනෙමි. ඇයත් පෙරලා මා හා සිනාසුනාය. සුභවාදී ප්‍රතිචාරයකි. සැලසුමේ පළමු පියවර සම්පූර්ණය. ඇය කෙලින්ම ගොස් ඇතුළු වූයේ ගුණතිලක මහතාගේ කාමරයටය. එක අතකින් ගුණතිලක මහතා මොන තරම් වාසනාවන්තදැ’යි මම සිතුවෙමි. ගුණතිලක මහතා වෙනුවට මැනේජර් පුටුවේ මම සිටියානම් ඇය සමඟ කතාබහ කිරීමට එය හොඳ රුකුලකි. ඇය නැවත එළියට පැමිණෙන විටදී ඇයත් සමඟ මොනවා හෝ කතා කළ යුතුය. නමුත් මොනවා කතා කරන්නදැ’යි සිතමින් මම අහස පොළව ගැටලමින් කල්පනා කළෙමි. ඇයව තවත් වරක් දැක ගන්නට මට සිතිනි.

මා විසින් සැකසුනු දත්ත වාර්තා කිහිපයක් සඳහා ගුණතිලක මහතාගේ අනුමැතිය ලබා ගැනීමට තිබිණි. මා එම කටයුත්ත දැන්ම කරගන්නට සිතුවෙමි. ගුණතිලක මහතාගේ කාමරයට ගොස් මට ඇය දැක ගැනීමට හැකි වනු ඇත.

ගුණතිලක මහතා අමුතුම චරිතයකි. නිහතමානීය. කරුණාවන්තය. එහෙත් විටින් විට පිස්සුවක් දෙකක්ද කෙළියි. ඔහුගේ වාහනයෙන් කාර්යාලයේ පවිත්‍රතා සේවකයෙකු වුවද දාගෙන යාමට තරම් ඔහු නිහතමානීය. රැකියාවට පැමිණි මුල් දවස් වල මා කළ වැරදි නිසා වෙන ලොක්කෙක් නම් මට වෙඩි තබා මරා දමනු ඇත. එහෙත් ගුණතිලක මහතා ඒ සියලු දේ මට ඉවසීමෙන් යුතුව කියාදුන්නේය. නමුත් සමහරවිට දිනෙක ඔහු මා වාහනයෙන් ගෙන ගොස්, සෑහෙන වෙලාවක් කතා කරත් පසුදින වන විට මගේ නමද අමතක වෙයි. තවත් විටෙක අවුරුද්දකට පමණ පෙර සිදු වූ සිදුවීමක් අප සියලු දෙනාටම අමතක වූ පසුත්, නිවැරදි කාලවකවානු සමඟම සිහි කරයි. ඔහුට වයස අවුරුදු හතළිහක් පමණ වෙතත් අපේ සීයාත් ඔහුට වඩා තරුණ පාටය. සමහර දින වලදී ඔහු කෙතරම් ‘ගල් ගසනවා’ද කියතොත් සතියක් ගතවනතුරුත් ඔහු වෙරි මතින්ය. ගුණතිලක මහතාගේ කාමරයට ඇතුළු වන විටදී ඇය සිටියේ ඇය අතේ වූ යම් ලියවිල්ලක් කියවමින්ය. ගුණතිලක මහතාගෙන් අවසර ගෙන මම කාමරයට ඇතුළු වූයෙමි.

“යස් කපිල, කම් ඉන්.”

“සර් අපෲවල්ස් වගයක් ගන්න තියෙනවා. මේ රෙකෝඩ්ස් ටික අද හවස් වෙද්දී යවන්න ඕනේ.”

“ඕ.කේ. බ්‍රින්ග් දෙම්.”

මා අත තිබූ වාර්තා ගුණතිලක මහතා අතට දුන් මම ඒ ඉදිරිපිට හිඳගෙන සිටින ‘අරයා’ දෙස බලාගෙන උන්නෙමි. ඇය ඇගේ මුළු අවධානයම එයට යොමු කරමින් එය කියවමින් සිටියාය. එහි වූ වචන වලට අනුරූපව කිහිපවිටක් ඇගේ දෙතොල් සෙලවෙනු දුටු මම ඒ දෙසත් ඇගේ ප්‍රේමය උතුරා යන උවන දෙසත් බලාගෙන සිටියෙමි.

“බයි ද වේ, කපිල, අදුරගන්න මේ මගේ වයිෆ්. ශාරිකා හී’ස් කපිල.”

මගේ දැහැන බිඳිමින් ගුණතිලක මහතා පැවසීය.

‘වයිෆ් !’ මොකක්ද බොලේ ඒ උනේ ?
මම මගේ හිස් කබල තුළ වූ දත්ත ගබඩාව පුරා හතර අත දිව යමින් ‘වයිෆ්’ යන්නට තවත් සමාන තේරුමක් ඇත්දැ’යි සොයා බැලුවෙමි. මට මගේම දෙකන් විශ්වාස නැති විය. සිතේ මතු වූ අපමණ කලබලය යටපත් කරගන්නට වෙර දරමින් මමද කතා කළෙමි.

“හෙ.. හෙල්.. හෙලෝ මැ.. මැඩම්.”

මගේ සිහින ලෝකය ‘දඩ බඩාං’ ගාගෙන කඩා වැටිණි. මෙවන් කුසුමක් කෙසේනම් බොසාගේ වයිෆ් වීදැ’යි මම සිතුවෙමි. තත්පර කිහිපයකින් ඇගේ වතේ වයසක පෙනුමක් මට පෙනෙන්නට විය. ඇගේ දෑතෙහි මතු වූ නහර වැල් පෙනෙන්නට විය. ඇගේ ඇඟිල්ලේ තිබූ මුද්ද පෙනෙන්නට විය. ඇගේ කාලවර්ණ කේශ කලාපය අතර සුදු කෙස් ගසක් දෙකක් ද පෙනෙන්නට විය. එනමුත් මා මුලදී දුටු සුන්දරත්වයට එයින් හානියක් වූවේ නැත. ඇගේ සැබෑ ලක්ෂණ ඇගේම සුන්දරත්වයෙන් වැසී තිබුනේය. ඇය සැබවින්ම සුන්දරය. බොසාගේ වයිෆ් කියා හෝ විවාහක ගැහැනියක් කියාවත් කිව නොහැකිය. නමුත් මේ ගුණතිලක මහතාගේ බිරිඳමය. දෙවියන් මා මුලා කර ඇත. මම සියලු දෙවියන්ට ‘පින් අනුමෝදන්’ කළෙමි.

ඇයද මට ‘හෙලෝ’ යයි කියා නැවතත් ඇගේ අවධානය අතේ වූ ලියවිල්ලට යොමු කළාය.

“එක්ස්කියුස් මී සර්, මට ඇනුවල් රිපෝට් එක ගැන බලන්නත් තියෙනවා. සර් ඔය ටික අපෲ කරලා තියන්න. මම තව ටිකකින් ගන්නන්.”

“ඕ.කේ. කපිල දැට්ස් බෙටර්.”

ගුණතිලක මහතාට බොරුවක් කියා මා කාමරයෙන් එළියට පැමිණියේ මගේ ‘පළමු පෙම’ට වූ දෙය ගැන සිතමිනි.



Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

හදවත නැවතුණු මොහොතක් - කෙටි කතාව