චලනි තම රැකියාව අවසන් කොට නිවස බලා යාමට බස් රථයකට ගොඩ වූවාය. පාසලේ ගුරුවරුන් දෙදෙනෙක්ම නිවාඩු ලබාගෙන තිබූ බැවින් ඇයට අද කාලච්ඡේද අටම ඉගැන්වීමෙහි නිරත වීමට සිදු විය. මුරණ්ඩු කොලු ගැටයින් මෙල්ල කිරීමට විටෙක උගුර ලේ රහ වනතුරු කෑ ගසන්නට සිදු වුවත් ඇය තමන් උගන්වන දෙය අසා සිටින, ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබාදෙන දරුවන් දෙස බලා සතුටු වූවාය. පාසල නිම වීමෙන් පසු ඇය හැකි ඉක්මනින් තම නිවස බලා ගමන් ගන්නේ තම දරු දෙදෙනා තුරුලට ගැනීමට නොඉවසිල්ලෙනි. ඉහින් කනින් දහඩිය පෙරාගෙන නිවසට ඇතුළු වූ චලනිගේ විඩාව ක්ෂණයකින් පහව ගියේ ඉදිරියට දිව ආ තම සිඟිති දියණිය දැකීමෙනි. බෑගය ගලවා පසෙකින් තැබූ ඇය තම දියණිය වඩාගෙන සිපගත්තාය. “අන්න පුතාට කතන්දර පොතක් ගෙනාව ගිහින් ගන්න. බෑග් එකේ ඇති” එසැණින් දිව ගොස් බෑගයේ තිබූ කතා පොත ගෙන එතැනම බිම වාඩි වී කියවන්නට ගත් තම දියණිය දෙස බලා චලනි සිනා පෑවාය. “ඔන්න බලන්න පුතා තාම දවල්ට කෑවේ නෑනේ. එයාට ඉතින් අපි කෑම කවලා හරියන්නේ නෑ අම්මම ඉන්න ඕනේ.” චලනිගේ මව පවසන්නට විය. උදයේම චලනිත් ඇගේ සැමියාත් රැකියාවට ගිය පසු කුඩා දරුවන් දෙදෙනා රැකවරණය ලබන්නේ තම ආච්චි හා ...