හදවත නැවතුණු මොහොතක් - කෙටි කතාව






චලනි තම රැකියාව අවසන් කොට නිවස බලා යාමට බස් රථයකට ගොඩ වූවාය. පාසලේ ගුරුවරුන් දෙදෙනෙක්ම නිවාඩු ලබාගෙන තිබූ බැවින් ඇයට අද කාලච්ඡේද අටම ඉගැන්වීමෙහි නිරත වීමට සිදු විය. මුරණ්ඩු කොලු ගැටයින් මෙල්ල කිරීමට විටෙක උගුර ලේ රහ වනතුරු කෑ ගසන්නට සිදු වුවත් ඇය තමන් උගන්වන දෙය අසා සිටින, ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබාදෙන දරුවන් දෙස බලා සතුටු වූවාය. පාසල නිම වීමෙන් පසු ඇය හැකි ඉක්මනින් තම නිවස බලා ගමන් ගන්නේ තම දරු දෙදෙනා තුරුලට ගැනීමට නොඉවසිල්ලෙනි.

ඉහින් කනින් දහඩිය පෙරාගෙන නිවසට ඇතුළු වූ චලනිගේ විඩාව ක්ෂණයකින් පහව ගියේ ඉදිරියට දිව ආ තම සිඟිති දියණිය දැකීමෙනි. බෑගය ගලවා පසෙකින් තැබූ ඇය තම දියණිය වඩාගෙන සිපගත්තාය.


“අන්න පුතාට කතන්දර පොතක් ගෙනාව ගිහින් ගන්න.  බෑග් එකේ ඇති” එසැණින් දිව ගොස් බෑගයේ තිබූ කතා පොත ගෙන එතැනම බිම වාඩි වී කියවන්නට ගත් තම දියණිය දෙස බලා චලනි සිනා පෑවාය.


“ඔන්න බලන්න පුතා තාම දවල්ට කෑවේ නෑනේ. එයාට ඉතින් අපි කෑම කවලා හරියන්නේ නෑ අම්මම ඉන්න ඕනේ.” චලනිගේ මව පවසන්නට විය. උදයේම චලනිත් ඇගේ සැමියාත් රැකියාවට ගිය පසු කුඩා දරුවන් දෙදෙනා රැකවරණය ලබන්නේ තම ආච්චි හා සීයාගෙනි.

 “මෙච්චර වෙලා අක්ක එක්ක ඔට්ටු අල්ලලා ඔන්න දැන් ටිකකට කලින් නිදා ගන්න ගියා. දුව මූණ කට හෝද ගෙනම ඇවිත් කවන්න.”


“නෑ අම්මේ කවලම ඉන්නන්” ඇඳුම් මාරු කිරීමටවත් ප්‍රමාද නොවූ ඇය කෑම බෙදාගෙන’විත් නිදා සිටින තම පුතු ඇහැරෙව්වාය.


“පුතේ, රත්තරන්, නැගිටින්න කන්න. කෝ නැගිටින්නකෝ ඉතින්.” මවගේ කට හඬ ඇසුණු සැනින් නැගිටගත් ඇගේ කුඩා පුතණුවන් ඇය හා සුරතල් වන්නට පටන් ගත්තේය. කුඩා පුතුට කෑම කැවීම තරම් අපහසු දෙයක් චලනිට නැත. කෙසේ හෝ පෙරැත්ත කරමින්, කතන්දර කියමින් ඇය තම පුතුට කෑම කැව්වාය.


කෑම කෑමෙන් අනතුරුව නැවතත් නින්දට ගිය තම පුතුගේ හිස සිඹ ඇය කාමරයෙන් පිටතට ගියාය. ඇඳුම් මාරුකර, ඇඟපත සෝදාගෙන සැහැල්ලු වූ ඇය සාලයට පැමිණ තමන් ගෙනා කතා පොත කියවන දියණියගේ දිලිසෙන ඇස් දෙස බලාගෙන සිටියාය. පොත පසෙකින් තැබූ දියණිය දිවවිත් මවගේ ඔඩොක්කුවට පැන ගත්තාය.


“අද ඉස්කෝලේ වැඩ කළාද හොඳට ම් ? ඊයේ කරගෙන ගිය හෝම්වර්ක් ටීචට පෙන්නුවද ?”


“ඔව්. මට අද ටීචර් ස්ටාර් එකකුත් දුන්නා. අද පන්තියේ ළමයි ඔක්කොමල්ලාටම චිත්‍ර අඳින්න කිව්වා කැමති දෙයක් ගැන. මං අම්මාව ඇන්දා. ටීචර් ඒක ලස්සනයි කියලා පන්තියේ හැමෝටම පොත උස්සලා පෙන්නුවා.”


“හොඳයිනේ. කෝ ගේන්න බලන්න ඇඳපු එක.” නිවස තුළට දිව ගිය දියණිය ඇගේ පොත ගෙන’විත් චලනිට පෙන්වූවාය. තමන් රෝස පැහැති සාරියකින් සැරසී අත් බෑගයද කරේ දමාගෙන සිටින චිත්‍රයක් පොතේ ඇඳ තිබුනේය. එය සැබවින්ම අලංකාර විය. දැඩි සෙනෙහසින් දියණියගේ හිස අතගෑ ඇය දියණියගේ අනෙක් පොත්ද ඉල්ලාගෙන බැලුවාය. සෑම පිටුවකම හරි සලකුණු, තරු සලකුණු දකින ඇගේ දෑස් බබළන්නට විය. ඇය වැරදී තිබූ පිළිතුරු නිවැරදි කර නැවතත් දියණියට ඒවා කියා දුන්නාය.


මද වේලාවකින් දියණියද නින්දට ගිය නිසා ඇය පාසලේ ළමුන්ගේ පිළිතුරු පත්‍ර බැලීමට පටන් ගත්තාය. ඇයටත් නොදැනීම කාලය ගත වී ගියේය. එක දිගට වැඩෙහි යෙදීම නිසා විඩාවට පත් වී සිටි ඇය නැවතත් ප්‍රබෝධමත් වූයේ ඇගේ මව පිළියෙළ කොට දුන් තේ කෝප්පය බීමෙනි. ජංගම දුරකථනය අතට ගත් ඈ තම සැමියාගේ අංකයට ඇමතුවාය.


“බන්දුල.. දවල් කෑවද?... ඔව් ඔව්  දැන් දෙන්නම නිදි.... එනකොට පිටි එකක් අරන් එන්න... හාලුත් ඉවර වෙන්න ලඟයි... නැහැ මට මොකවත් ඕන නෑ, ඔයා ඉක්මනට ගෙදර එන්නකෝ.... හරි.. පරිස්සමින් එන්න, බුදු සරණයි.” ඇය තම ජංගම දුරකථනය ප්‍රවේසමට මේසය මතින් තැබුවේ දුරකථනය කෙරෙහි ඇති සැලකිල්ලක් නිසා නොවේ ය.


කාමරය දෙසින් ඇසුණු ‘කිචි බිචියෙන්’ තම දරු දෙදෙනා නැගිට ඇති බව ඇය දැනගත්තාය. දරුවන් දෙදෙනාම කැටුව නාන කාමරයට ගිය ඇය ඔවුන් පිරිසිඳු කරන්නට වූවාය. එකිනෙකාට වතුර ගසා ගනිමින් සතුටු වන දරු දෙදෙනාගේ සතුටට චලනිද එකතු වූවාය.


දරුවන් දෙදෙනාගේම ඇඟේ ඕඩිකොලෝන් තැවරූ චලනි ඔවුන්ව සිඹිමින් සුරතල් කළාය. පිරිසිඳු ඇඳුම් හඳවා දරු දෙදෙනාගේ හැඩ බලමින් සතුටු වුනු ඇය  අනතුරුව  සාලයේ පැදුරක් දමා දරු දෙදෙනා ඒ මත තැබුවාය. දියණිය දිව ගොස් ඔවුන්ගේ සෙල්ලම් බඩු පෙට්ටිය රැගෙන’විත් පැදුර මත හැලුවාය. කෙළිදෙලෙන් ප්‍රීතිවන දරු දෙදෙනා දෙස බලා සිටි ඇය අනතුරුව පසෙකින් වාඩි වී පොතක් කියවන්නට පටන් ගත්තාය.


“අනේ අම්මේ ! මේ මල්ලි එක්ක බෑනේ ! මෙයා හැමතිස්සෙම මගේ බෝනික්කව අරන් විසි කරනවා.”

හඬාගෙන පැමිණ තම ඔඩොක්කුවට ගොඩ වුනු දියණියගේ කඳුළු පිසමින් චලනි සිනාසුනාය.


“ඉතින් මල්ලි තව පොඩියිනේ පුතේ. එයාට තවම තේරෙන්නේ නෑනේ. ඔයා මල්ලි එක්ක කේන්ති ගන්න එපා. දැන් ගිහින් එයත් එක්ක සෙල්ලන් කරන්න.”


“මට බෑ මට මල්ලිව එපා.”


“අනේ මගේ හොඳ දුවනේ. එහෙම කියන්න එපා. මල්ලි ලොකු උනාට පස්සේ එහෙම කරන එකක් නැහැ. යන්න ඉතින්, ගිහින් සෙල්ලන් කරන්න.”


ඇඹුල් කරගත් මුහුණින් යුතුව නැවතත් තම මල්ලී ලඟට යන දියණිය දෙස චලනි බලා සිටියාය. විටින් විට රණ්ඩු සරුවල් කරගත්තාත් දෙදෙනාටම දෙදෙනා නැතිව සිටිය නොහැකි බව ඇය අත්දැකීමෙන්ම දැන සිටියාය. මද වේලාවකින් නැවතත් දරු දෙදෙනා ප්‍රීතියෙන් සෙල්ලම් කරන්නට විය. ඒ දුටු චලනිට සිනහ ගියාය.


දරු දෙදෙනා සිනහ වෙමින් සෙල්ලම් කරද්දී පොතක් කියවමින් සිටි චලනිගේ විඩාබර දෙනෙත මදක් පිය විණි. එසේ දෑස පියාගෙන කෙතරම් වෙලාවක් තමන් සිටියාදැයි අවබෝධයක් ඇයට නොවීය. එක වරම ඇගේ දෑස විවර විය. දරු දෙදෙනා සිටි පැදුර දෙස බැලූ ඇයට තම දියණිය එහි නොසිටින බව පෙනුනේය.

ඒත් සමඟම නිවසේ විදුලිය විසන්ධි විය. ‘ටස්’ ගෑ හඬින් නිවසේ ට්‍රිප් ස්විචය විවර වූ බව ඇය වටහා ගත්තාය. සාලයට යාබද කාමරයෙන් ඇගේ දියණිය හඬනා හඬින් කලබල වූ ඇය සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට ප්‍රමාද නොවී ජංගම දුරකථනයේ ඇති බල්බය දල්වාගෙන කාමරයට දිවුවාය. කාමරයට ඇතුළු වූ ඇය දුටුවේ පුටුවක් මත නැග සිටිනා තම දියණියයි.


“ඇයි පුතේ කළුවරට බයවුනාද? ම්ම්ම්.. ආ පැටියෝ දැන් අඬන්න එපා අම්මා ඉන්නවනේ.” ඇය දියණියව සිපගනිමින් ඇය සනසන්නට විය. ඒ වන විට බිය වුනු පුතුද හඬමින් සිටියේය. මේ කලබලය කන වැකුණු චලනිගේ දෙමව්පියන්ද විදුලි පන්දම් දල්වාගෙන සාලයට පැමිණියහ.


“මොකෝ දුවේ උනේ ? කරන්ට් ගියා නේද ?”


“ට්‍රිප් එක ගියාද කොහෙද තාත්තේ. මේ දෙන්නා බය වෙලා.”


චලනිගේ පියා ට්‍රිප් ස්විචය යළි වැසුවේය. නිවස ආලෝකයෙන් පිරී යත්ම දරු දෙදෙනාගේ හැඬුමද අඩු වී ගියේය.


“කොහොමද එකපාරට ට්‍රිප් එක යන්නේ ? මොනවහරි ප්ලග් කරන්න ගියාද ?” චලනිගේ මව විමසුවාය.


“නැහැනේ අම්මේ. මං ළමයි දෙන්නා එක්ක මෙතන හිටියේ.” එහෙත් විදුලිය විසන්ධි වන විට තම දියණිය යාබද කාමරයේ මොනවා කරාදැ’යි ඇය සිතුවාය.


“දූ, ඔයා මොනවා හරි කාමරේ කළාද ?” ඇය තම තුරුලේ තවමත් ඉකි ගසමින් සිටිනා දියණියගෙන් ඇසුවාය.


“නෑ අම්මේ මං මොනවත් කලේ නෑ. ලයිට් එක පත්තු වුනේ නැති නිසා බැලුවා විතරයි.” නැවතත් හඬන්නට පටන්ගත් දියණිය පවසන්නට විය.


“ලයිට් එක?”

පුදුමයෙන් යුතුව දියණිය දෙස බලා සිටි චලනිගේ ඇඟ පුරා එක් වරම හිරිගඩු පිපීගෙන ගියේය. දියණියත් සමඟම කාමරයට ගිය ඇය දුටු දෙයින් ඇගේ හදවත තත්පර කිහිපයකට ක්‍රියා විරහිත විය. මේසය මත තබා තිබූ මේස ලාම්පුවෙන් වයර් කැබලි දෙකක් පිටතට පැමිණ උණු වී ගොස් තිබිණි. තම දියණිය පුටුවක් මත නැග සිටි නිසා සිදුවන්නට ගිය මහා අනතුරක් වැළකී ඇති බව ඇය වටහා ගත්තාය. චලනිගේ පසු පසින් පැමිණි ඇගේ පියාද සිදු වී ඇති දෙය වටහා ගෙන නළලෙහි අත ගසා ගත්තේය. චලනිගේ දෑස තෙත් වී ගියේය.

චලනි ලැබූ පුහුදුන් මනුෂ්‍යත්වයේ උත්තරීතරම පදවියේ සංඛේතය ඇගේ පුංචි දියණිය විය. ඇය සතු මහාර්ඝ වස්තුව අහිමි කරන්නට තරම් ඇගේ දෛවය කුරිරු නොවීම ගැන ඇය සතුටු වූවාය. තදින් තම දියණියව තුරුළු කරගත් ඇය කිහිපවරක්ම ඇයව සිපගෙන ඇගේ කඳුළු පිස දැම්මාය. දියණිය තම තුරුලේ සිටියදීම ඇය පසෙකින් තිබූ බුද්ධ රූපය දෙස මද වෙලාවක් දෑස් දල්වා බලාගෙන සිටියාය.


නැවතත් සාලයට යාමට සූදානම් වෙද්දී ඇගේ අවධානය යොමු වූයේ මේසය මත තබා තිබුණු පත්තරයකටයි. එහි මුල් පිටුවේ තරමක් විශාලව මුද්‍රණය කොට තිබුනේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනයයි. එහි ආදර්ශ පාඨය ලෙස  දක්වා තිබූ වාක්‍යය ඇය කියවූවාය.

 “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරිං.”

Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

කපටියා - කෙටි කතාව