පතාගෙන එන කපටියා



මීට පෙර පළවුනු blog post එකේ වූයේ 2015 වසරේදී මා ලියූ කෙටි කතාවකි. එම කෙටි කතාවට පාදක වූයේ මා අත්විඳි 100% සත්‍ය සිදුවීම් කිහිපයකි. 
 මෙම ලිපිය කියවීමට පෙර අනිවාර්යයෙන් කපටියා - කෙටි කතාව කියවන්න 

එම කෙටි කතාවෙහි වූ "කපටියා" 138 බස් මාර්ගයේදි මගේ මිතුරන් කිහිප දෙනෙකුටද මුණ ගැසී තිබුණි. නමුත් එම පුද්ගලයා පාදක කර ගනිමින් කෙටි කතාවක් ලියන්නට තරම් සිතුණේ ඔහුව ඒ වන විට මට තුන් වරක් මුණ ගැසී තිබූ නිසාවෙනි.

දැන් මා ඔහුව හඳුන්වන්නේ "පතාගෙන එන කපටියා" යනුවෙනි. ඊට හේතුව දන්නවානම් ඔබ පුදුමයට පත් වේවි. එම පුද්ගලයාම 2015 වසරෙන් පසුව, නැවතත් දෙවතාවක් මට මුණ ගැසුණේය. මේ සිදුවීම් දාමය මා මිතුරෙකුට කී විට ඔහු පැවසූයේ මේ නම් සංසාරයේ පතාගෙනම මා ගෙන් සල්ලි ඉල්ලා ගැනීමට එන කපටියෙකු බවයි. 

ජීවිතේ හතරවැනි වරටත් මට ඔහුව මුණ ගැසුණේ මහරගමදී ය. මගේ මවත් සමඟින් පාරේ ඇවිද සිටින අතරේ ඔහු ඇවිත් සුපුරුදු කතාව පවසන්නට පටන් ගත්තේය. අතින් කටින් බඩු එල්ලාගෙන කාෂ්ඨක අව්වේ ඇවිදිමින් සිටි මට ඒ වෙලාවේ නැගුනේ කේන්තියකි. එදින මා ඔහුට සවන් නොදී දිගටම ඇවිද ගියෙමි. 

පස් වෙනි වරට ඔහුව හමු වූයේ විජේරාම හන්දියේදීය. එදින ඔහු කතාව පටන් ගන්නා විටම "මට තමුසෙව එපා වෙලා ඕයි ඉන්නේ හැමදාම එකම බොරුව. කී සැරයක් මට තමුසෙව හම්බුනාදැ"යි කියා මම බැණ වැදුනෙමි. ඔහු වේගයෙන් මගෙන් ඉවතට ඇවිද ගියේය. පසු දිනෙක දැන ගන්නට ලැබුණු පරිදි මගේ මිතුරෙකුටද විජේරාම හන්දියේදිම මෙම පුද්ගලයාව මුණ ගැසී තිබුණි. 

ඔහුව අවසන් දෙවතාවේදි මුණ ගැසුණු විට ඔහුගේ ඡායාරූපයක් ගැනීමට නොහැකි වීම ගැන මම කනගාටු වෙමි. කෙසේ නමුත් ඔහුව නැවතත් මට හමු වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළ ය.

Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

කපටියා - කෙටි කතාව