ගැමුණු හේවායා - කෙටි කතාව

ගැමුණු හේවායා

Image Courtesy : wikipedia.org



කාවන්තිස්ස රජතුමන්ගේ අභාවප්‍රාප්ත වීමෙන් මුළු රුහුණු දේශයම කැළඹී ගියේය. සියලු දෙන ඒ උතුම්, තැන්පත් මහා පෞරුෂය වෙනුවෙන් කඳුළු සැලූහ. අතරින් පතර කතා බහට ලක් වුයේ කාවන්තිස්ස රජතුමන්ගෙන් පසුව රජ කිරුළ පළන්දන්නේ දුෂ්ඨ ගාමිණී කුමරුවන්ටද නැතහොත් තිස්ස කුමරුවන්ටද කියා ය. තම රට ජාතිය වෙනුවෙන් යුධ වැදීම පිළිබඳව පියතුමන් සමග වාද කර උරණ වූ ගැමුණු කුමරුන්ව බොහෝ දෙනා දුටුවේ නිර්භීත කුමරෙකු ලෙසටයි. කෝප වූ පිය රජතුමන්ගේ දඬුවමට බිය වූ ගැමුණු කුමරු ඒ වන විටත් සැඟවී අප්‍රසිද්ධියේ සිටියේය. තම පියාණන්ට පවා දුෂ්ඨ වූ කොලු ගැටයෙකු කෙසේ නම් රටක් පාලනය කරන්නදැ’යි සිතා තිස්ස කුමරුවන්ට වැඩි මනාපයක් දැක්වූ පිරිස්ද නොසිටියා නොවේ.

අවමංගල්‍යය දින රාත්‍රියේ විහාර දේවීන් වහන්සේ නන්දිමිත්‍ර සෙනෙවිතුමන්ව රහසේම හමු වූවාය.

“නන්දිමිත්‍ර, මේ තමා කාලය. යන්න... ගිහින් ඔහු කැඳවාගෙන එන්න. ”

තම ළය පිරෙන්නට පුරවා ගත් වාතයෙන් සුසුම් හෙලූ සෙනෙවිතුමන් මද සිනා පා දේවින් වහන්සේ වැඳ නික්ම ගියේය.


•••

මඩුවේ බැඳ ඇති ගවයා දකින සෑම විටකම හබතාට තමන් යලෙත් මහෙත් කුඹුරු කළ අන්දම සිහි වෙයි. හේන් වැපිරූ අයුරුද දිවා රෑ නොබලා එය සුරැකූ අයුරුද සිහි වෙයි. එසේ පටන් ගන්නා අතීතාවර්ජනය තරුණ කල තමන් ගමේ මල්ලව පොර ශුරයා වූ මොහොතටද, ඩිංගිරි මැණිකා සමගින් වෙල් ඉපනැල් පුරා ඇවිදිමින් පෙම් බස් දෙඩූ වෙලාවන්වලටද දිව යයි.

“මලයා. . . බර කල්පනාවක වගේ. ”

“අහා ගංගොඩ අයියණ්ඩි නෙව. ඈඳි ගමු ඔහෙන්. කෝ තවම රුහුණෙන් මොකවත් ආරංචි හෙම නැද්ද? ”

“නෑ මලයා තවම හාවක් හූවක් නෑ”

“අනේ මට මහා රජ්ජුරුවන්නේ අවමංගල්ලෙටවත් යන්න බැරි වෙච්චි හැටි. ” හබතා ඈත බලාගෙන හීල්ලුවේය.

“ඔව්ව ඔහොම තමයි මලේ. ජිවිතේ හැම දෙයක්ම හොඳ අතට හැරෙන්නේ නෑ නෙව. ”

“මේ.. ඇහුනද.. ආං අහරෙන් අණ බෙරයක්ද කොහෙදෝ ඇහෙනවා.” පිළිකන්න දෙසින් ආ ඩිංගිරි මැණිකා ඈතින් ඇසෙන බෙර හඬට සවන් යොමු කළාය.

“අසව් අසව් ! රුහුණු රට මහා රාජ මාලිගාවෙන් සියලු රටවැසියන්ට දන්වන වගනම්, අප මහා කාවන්තිස්ස රාජෝත්තමයන්ගේ අභාවයෙන් පසු රුහුණු රට අග රජ ලෙසින් උන්වහන්සේගේ වැඩිමහලු පුත් ගාමිණී අභය කුමරුවන් මෙතැන් පටන් සත් දිනකින් එළඹෙන ඉරු දිනයේදී රාජාභිෂේක ගන්වන වගයි. සියලු රට වැසියෝ පැමිණෙත්වා. !”

“සාධු සාධු සාධු ! ගැමුණු කුමාරයා ආයේ ඇවිත් හෙනං”

“දැන් ඉතින් පර දෙමළට ලේසි වෙන්නේ නෑ . රුහුණට ඔය රජ වෙන්න යන්නේ සිංහයෙක් !” දිලිසෙන දෑසින් යුතුව ගංගොඩ රාල පවසන්නට විය.

“ඒ උනාට මයේ හිතේනන් ගැමුණු කුමාරයාට වැඩි මනාපයක් නෑ. හරි හිතුවක්කාරයි. හිතුවක්කාරයින්ට රටක් කරවන්න බෑ.” ඩිංගිරි මැණිකා කීවාය.

“අනේ නඟා උඹ දන්නා කෙන්ගෙඩිය. අන්න අහරෙට ගිහින් වැඩක් බලාගනිං. ගැමුණු කුමාරයා පුංචි සන්දියේ ඉඳලම කීකරු දරුවෙක්. හොඳට ශිල්ප සාස්තර හදාරපු ගුණ යහපත් උත්තමයෙක්. ඒ වගේම තමයි සිංහයෙක් වගේ එඩිතරයි. රට ජාතියට ආදරෙයි. මේ බිමට, බුද්ධාගමට වින කටින උන්ව මේ රටෙන් පන්නලා දාන්න තමයි කාවන්තිස්ස රජ්ජුරුවෝ එක්ක පවා නෝක්කාඩු වුනේ. කාවන්තිස්ස රජ්ජුරුවොත් හරි කාලේ එනකල් තමයි බලාන උන්නේ. මං පහුගිය බක්මහේ මාගම්පුර ගිය වේලාවකදී මගේ හිතවතෙක් මුණ ගැහුනා, රාජ පුරුෂයෙක්. ගැමුණු කුමාරයා ඉපදෙන්නත් ඉස්සර ඉඳන්ම රාජ සේවයේ. ඒ ඇත්තා මට ගැමුණු කුමාරයා ගැන සෑහෙන කාරණා කියලා දුන්න.” ගංගොඩ රාල උද්වේගයෙන් යුතුව පැවසීය.

“හැබෑටම අයියණ්ඩි ඔය කිව්වට එළාර රජ්ජුරුවන්ව පරද්දන්න ගැමුණු කුමාරයට පුළුවන් වේවිද?” හබතා දෙගිඩියාවෙන් යුතුව ඇසීය.

“හෙඃ හෙඃ මොනවාද මේ අහන්නේ මලයා. . කාවන්තිස්ස රජ්ජුරුවෝ නිකන්ම මියැදුණේ නෑ . රුහුණේ මහා බලසම්පන්න සේනාවක් හදලා තියෙන්නේ. ඒ විතරක්ද ? මහා යෝධයෝ ! නන්දිමිත්‍ර කියන සෙනෙවියා අවුරුදු දහය දොළහ කාලේදී පවා පන්සල්වලට පැනල ඒවා විනාස කරන දෙමළුන්ව අල්ලලා මරනවලු. සෙනෙවිතුමාට ඇත්තු දස දෙනෙකුගේ ශක්තිය තිබෙනවා කියලයි රාජපුරුෂයන් කතිකා කරන්නේ. ඒ විතරක් නෙමෙයි, රාක්ෂස අංගම් වලින් කෙළ පැමිණියෙක්. නන්දිමිත්‍ර සෙනෙවිතුමා යටතේ ශූර අංගම් කාණ්ඩයක් පුහුණු වෙනවාලු. ඵුස්සදේව කියන සෙනෙවියාට පුළුවන්ලු කළුවරේ උනත් හඬට කන්දීලා එල්ලෙට හී විදින්න. ඒ උත්තමයා තමයි සේනාවේ ධනුර්ධ සේනාංකේ පුහුණු කරවන්නේ. සුරනිමල කියන සෙනෙවියා අසු පන්නන ගමන් කඩු පහර ගසන්නේ විදුලිය වාගෙලු. කතා කරනවානං මලයා ඔය වාගේ දස්කම් බොහෝමයි. ”

ගංගොඩ රාලගේ කතාව අසා සිටි හබතාගේ කොඳු නාරටිය දිගේ අමුතු රස්නයක් විහිදී ගියේය. ඔහුගේ දෑතම මිට මෙලවුණු අතර මුළු ලොවම දෑතට ඔසවා ගන්නට තරම් ශක්තියක් තමන්ට ඇති බවක් ඔහුට දැනුනේය. පපුව පිපිරී යන්නට තරම් අභිමානයකින් ඔහු සිත පිරි යන්නට විය.
“මලයා මං ගොහින් එන්නං හෙනං. ඕවිටේ උඩහ කෑල්ලේ වල් පීදෙන්න පටන් අරන්. ඒක විජහට සුද්ද බුද්ද කරලා දාන්න ඕනේ. මං මේ නිකමට යමින් ගමන් ගොඩ වැදුනා. ” ගංගොඩ රාල යන්නට සැරසුනේය.

“එහෙනං අයියණ්ඩි අපටත් ළගදීම නිදහසේ මහා විහාරේ වන්දනා කරගෙන එන්ට පුළුවන් වේවි නේද ?”

“නැතුව නැතුව නඟා . . හෙඃ හෙඃ දැන්ම ඉඳලා ලෑස්ති වෙයල්ලා” මහත් සතුටින් සිනාසුනු ගංගොඩ රාල බුලත් වට්ටියෙන් ගත් පුවක් කෑල්ලක් සපමින් කුඹුරු යාය දෙසට පියමැන්නේය.

•••
ගැමුණු කුමරු රාජාභිෂේක වූ බව ඇසු, දුටු ජනයා මහත් ප්‍රීතියට පත් වූහ. රුහුණු රාජ්‍ය පුරාම දින ගණනාවක් යනතුරු දන්සල්, ප්‍රීති උත්සව ආදියෙන් අඩුවක් නොවීය. ඒ අතරම අනුරාධපුර එළාර රජ මාලිගාවද ඇවිස්සුනු මී වදයක් සේ විය. එළාර රජතුමා දීඝජන්තු මහා සෙනෙවි හා තම ඇමතිවරුන්, පුරෝහිත බමුණන් ආදිය සමග අලුත් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය. බමුණන්ගේ විවිධ අනාවැකි වලින් හා රුහුණෙන් වාර්තා වූ තොරතුරු අනුව දුට්ඨ ගාමිණි අභය මහරජතුමන් සුළු කොට තැකිය නොහැකි බව එළාර රජතුමන්ට වැටහී ගියේය. තමන් යුද්ධයේ වැඩි පළපුරුද්දක් ඇති යුධ ශිල්පයෙන් පරසිඳු රණකාමියෙක් වුවද ගැමුණු රජතුමාත්, ගැමුණු සේනාවත් යුධ ශිල්පයේ කෙළ පැමිණියන් බව තම චරපුරුෂයන්ගෙන් දැනගත් එළාර රජතුමන්ගේ සිත සලිත විය.


•••

ආකාසයේ නිදහසේ පියාඹන කුරුල්ලන් කෙතරම් වාසනාවන්තද ? පියාපත් ගසමින් සුළගේ මුදු පහස විඳිමින්, වලාකුළු අතර සැඟවෙමින් , විටෙක කරනම් ගසමින් පියාසර කරන්නට තමන්ටත් හැකි වීනම් යනුවෙන් හබතා කල්පනා කළේය.

මේ බිමේ උපත ලද ඕනෑම අයෙක් මේ බිමේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ යුතුය. මුළු රටම එක්සේසත් කරන්නාවූ දැවැන්ත යුද්ධයකට ගැමුණු මහරජතුමන් සුදානම් වන මේ මොහොතේ තමන්ට නිවටයෙකු මෙන් ගෙතුළට වැදී සිටිය නොහැකි බව හබතා කල්පනා කළේය.

“මයේ දෙයියන්ට නා ගන්න මං වතුර මුට්ටිය ලිපේ තිබ්බ ඕං. තව ඩිංගකින් සූදානං වෙන්න. ” හබතාගේ කල්පනාව බිඳිමින් ඩිංගිරි මැණිකා කීවාය.

“මැණිකේ, මටත් සේනාවට බැදෙන්න උවමනායි.”

තුෂ්නිම්භූත වූ මුවෙන් යුතුව මද වෙලාවක් හබතා දෙස බලා සිටි ඩිංගිරි මැණිකා අපහසුවෙන් තම වදන් ගලපා ගත්තාය.

“දෙයිහාමුදුරුවනේ මයේ රන් කඳට පුලුවනිද ඔහොම ඉඳන් යුද්ධ කරන්න?” ඩිංගිරි මැණිකා තම ඇස් කන් අදහා ගත නොහැකිව හබතාගෙන් විමසුවාය. “ඔය මනස්ගාත හිතින් අස් කරාන යං නා ගන්න. ”

කිසිත් නොකියූ හබතා ඇඳ අයිනේ බිත්තියට හේත්තු කර තිබූ කිහිලි කරුව ගෙන එයට වාරු වී නැගිට ගත්තේය.


•••
හබතා උදේ රැයින්ම හේනට පිටත් වූයේ හේන්යායේ පහළ කොටසට යාබදව තවත් කැලෑ කොටසක් එලි පෙහෙළි කරන්නට සිතා ගනිමිනි. දෙදවසක් ඇතුළත හේන පිළිසකර කොට වපුරන්නට හබතා අදිටන් කර ගත්තේය. කැලෑ රොදට ඇතුළු වූ හබතා කටු පඳුරු ආදිය කපා දමමින් හේන් බිම පිළියෙළ කිරීම් ඇරඹුවේය. පසෙකින් තිබූ පඳුරු ගොල්ලක් අතරින් ‘සර සර’ හඬක් නැඟුනෙන් හබතා එයට තරමක් ඈතින් සිට කෝටුවකින් තට්ටු කළේය. එත් සමගම නැගුනු සියුම් ගෙරවිලි හඬ අඳුනාගැනීමට හබතාට අපහසු වූයේ නැත. ඉහ මොළ රත් වූ හබතා ක්ෂණයකින් ආපසු හැරී තෙරුවන් සිහිකරමින් දුවන්නට පටන් ගත්තේය. එනමුත් ඔහු ප්‍රමාද වැඩි විය. දිව යන හබතාට තම බත් කෙන්ඩාවෙන් තියුණු වේදනාවක් දැනුනේය. එත් සමගම බිම පෙරලී ගිය හබතා තමා පසු පස හඹා ආ දළ ඌරාගෙ රුදුරු මුව දුටුවේය. හබතාගේ පයේ මස් ගොබයක් ඉරා දැමූ වල් ඌරා එයින් සෑහීමට පත් නොවී හබතාගේ ඒ කකුලටම දෙතුන් සැරයක් තම තියුණු දළ යුගලයෙන් ඇන ගෙන ඇන ගෙන ගියේය. කිසිත් කර කියා ගත නොහැකිව බිම වැටී සිටි හබතාට වේදනාව දරා ගත නොහී සිහි මුර්ජා විය.

හබතා දෑස් හරින විට තමා ඇඳක් මත හොවා ඇති බව වටහා ගත්තේය. ඩිංගිරි මැණිකා තම මුහුණ හබතාගේ ළයතුරේ හොවාගෙන හඬමින් සිටියාය. රූරා වැටුණු ඇගේ කඳුලින් තම පපුව තෙත්ව ඇති බව හබතාට දැනුනේය. ඔහුට තම කකුලේ දණිස් කටුවට පහළින් කිසිත් නොදැනුනේය. දැඩි ස්නේහයෙන් යුතුව ඩිංගිරි මැණිකාගේ හිස අත ගෑ හබතා ඇගේ නළලත සිප ගත්තේය.

“මයේ දෙයියනේ බොලාට මේ මොකෝ වුනේ ?” ඩිංගිරි මැණිකා වැළහින්නක සේ හඬන්නට පටන් ගත්තාය.

හිස මදක් ඔසවා තම කකුල දෙස බැලූ හබතා තම දණහිස අසලින් බෙහෙත් බැඳ තිබූ අයුරුත් එතනින් පහළට තම කකුල නොතිබෙන බවත් දුටුවේය. කම්මුල් පුරා රූරා හැලෙන කඳුළු තමන්ගෙන් වසන් කිරීමට නිරර්ථක උත්සාහයක යෙදෙන හබතා දෙස බැලූ ඩිංගිරි මැණිකාට තවත් වේගයෙන් හැඩුනාය.


•••

ළිඳ අසල ඇති පැතලි කළු ගල මත හිඳගත් හබතා කිහිලි කරුව ළිං පඩියට හේත්තු කළේය. ළිඳෙන් වතුර ඇද කොරහෙන් අඩක් පිරවූ මැණිකා ලිප මත තැබූ මුට්ටියෙන් උණු වතුර ගෙන කොරහට එකතු කළාය.

“මට තනිවම පුළුවනි. මැණිකේ කරදර වෙන්න එපා.” තමන්ව නෑවීමට සුදානම් වන ඩිංගිරි මැණිකේ දෙස බලා හබතා කිවේය.

“බොලාට බැරි හන්දා නෙමේ නාවන්න හැදුවේ. තියෙන ආලවන්ත කමට. මං නාවන්නන්. ”

මද සිනහ පහළ කළ හබතා තම උරහිස මත වූ ඩිංගිරි මැණිකාගේ අත මතින් තම අත තැබුවේය.

“කකුල නැති උනාට මයේ ඇඟ පත තවම හයියයි මැණිකේ. මටත් යුද්ධ කරන්න ඇහැකියි. ”

“අනේ ඔය මනස්ගාත හිතින් අත් ඇරලා දාන්න මයේ දෙයියෝ. බොලා කොහොමද එහෙට මෙහෙට පැන පැන හටන් කරන්නේ ?”

“මං එහෙට මෙහෙට පනින්න උවමනා නෑ. මට පුළුවනි අශ්වයෙක් පිට ගිහින් හටන් කරන්න. යුද්ධෙට යද්දි හේවායෙක්ට පුළුවනි මාව අසු පිටින් තියන්න. එතකොට මට පුළුවනි එක්කෝ කඩු හරඹ කරන්න, නැත්තන් හී විදින්න.” දිලිසෙන දෑසින් යුතුව හබතා ඩිංගිරි මැණිකාගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් බලා සිටියද ඇය සෑහෙන වෙලාවක් යනතුරු හඬ අවදි කලේ නැත.

“බොලාගේ හිත තවම හයියයි. ඒත් ඔහොම ඉඳගෙන යුද්ධ කරන්න බෑ. අනික බොලා යුද්ධෙට ගියාම මම කොහොමද තනිවම ඉන්නේ ? බොලාට මොකවත් උනොත් මං කොහොමද ඒක වාව ගන්නේ?”

“යුද්ධෙට යන හැම හේවායම තනිකඩයෝ නෙමෙයි නේද? උන්ටත් අඹු දරුවෝ ඇති. ඒත් මේක ඒවා හිතන වෙලාවක් නෙමෙයි. මේක තමයි රට ජාතිය ගැන හිතන්න ඇති වෙලාව. මටත් උවමනායි යුද්ධෙට යන්න. ”
ඩිංගිරි මැණිකා කිසිත් නොකීවාය.

“ගැමුණු සේනාව මහියංගණය කොටුව සුන්නද්දූලි කරලාලු. චෝළයන් පණ එපා කියලා දුවලා තියෙන්නේ.” හබතාගේ සිතේ පිරි තිබූ ප්‍රීතිය ඔහුගේ හඬිනුත් දෑසිනුත් මැණිකාට දනුනාය.

“මම මේ බොලාට කියන්නමයි හිටියේ. මටත් කඩමණ්ඩියේදී ආරංචි වුනේ. කවුද කීවේ?”

“බොලා නැති අතරේ ගරුමා ආවා. ඌ තමයි කීවේ.”

“ඕක රස කර කර අහගන්න තිබ්බ ගංගොඩ අයියණ්ඩි ආවානං. ”

“මේ කරුමේ පඩිසන් දුන්නේ නැත්තන් මටත් යුද්ධ කරන්න තිබ්බ ගැමුණු සේනාවේ”

නෑමෙන් පසුව පිලේ ඇඳ මත හිඳගත් හබතා ඩිංගිරි මැණිකා පිළියෙළ කොට දුන් රණවරා පොල් කට්ට සෙමෙන් සෙමෙන් තොල ගෑවේය. පියස්ස යට ගසා තිබූ කෙවිට අතට ගත් හබතා එය අසිපතක් සේ එහා මෙහා වැනුවේය.

“අයියණ්ඩි, ආරංචිද පණිවුඩය? හෙට රුහුණේ සේනාවේ සෙනෙවි කාණ්ඩයක් එනවලු පන්සලට, සේනාවට හේවායෝ එක්කාසු කර ගන්න. මමත් යන්නයි ඉන්නේ.” හති දමමින් දිව ආ ගරුමා කිවේය. “මං මේ ගෝනවෙල රාලගේ ගෙදෙට්ට යනවා කඩුවක් ඉල්ලා ගන්න. කොහොමහරි සේනාවට තේරෙන්න ඩිංගක් පුහුණු වෙලාම යනවා. මං ගොහින් එන්නං අයියණ්ඩි. ”

“හොඳමයි හොඳමයි”

හබතාගේ සිත දැඩි දුකකිනුත්, දැඩි ආශාවකිනුත්, දැඩි ශක්තියකිනුත්, දැඩි දේශානුරාගයකිනුත් පිරී ගියේය.

“මැණිකේ. . . මැණිකේ. . . ඇහුනද? හෙට පන්සලට සෙනෙවි කාණ්ඩයක් එනවලු සේනා එකතු කරන්න. මමත් යනවා.” හබතා ප්‍රීතියෙන් යුතුව මැණිකාට හඬ ගෑවේය.

පිළිකන්න දෙසින් ආ මැණිකා කිසිත් කී ගත නොහී හබතා දෙස මද වේලාවක් බලා සිටියාය.

“බොලාව ඔහොම තෝරාගනිවිද? සෙනෙවිවරු ඉඩ දෙන එකක් නෑ ඔහොම තියාන හටන් කරන්න. ”

“ඒකට කාරි නෑ. මැණිකෙත් අවානං හෙට මගෙත් එක්ක පන්සලට යන්න. . . ”

“අනේ මන්දා, බොලාගේ කැමැත්තක්”

එදින රාත්‍රියේ නිදි දෙව් දුව හබතාව ප්‍රතික්ෂේප කළාය. විවිධ දෑ කල්පනා කරමින් හබතා ඉර නැගෙන තුරුම නිදි වර්ජිතව සිටියේය. ගැමුණු මහරජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නායකයෙකු යටතේ , ගංගොඩ රාල කියූ පරිදි ශූර සෙනෙවිවරුන්, හේවායින් සමග එක්වී තම රට ජාතිය වෙනුවෙන් සටන් වැදීමට ලැබේනම් කෙතරම් භාග්‍යක්දැ’යි හබතා කල්පනා කළේය. යුද්ධයට ඇති ආශාවක් නිසා නොව, එය ඔහුගේ අසීමිත දේශානුරාගය තුළින්ම උපත ලද්දක් විය.

ඩිංගිරි මැණිකාගේ කීමට අනුව හබතා ඉතා අපහසුවෙන් දහවල් වන තෙක් ඉවසුවේය. මැණිකාගේ අදහස වූයේ හේවායින් තෝරාගෙන අවසන් වීමෙන් පසු හබතා පෞද්ගලිකවම සෙනෙවිවරුන් හමුවී තම සිතැඟි පැවසිය යුතු බවයි.

මධ්‍යහනයට කිට්ටුවී හබතා ඩිංගිරි මැණිකාද සමගින් පන්සල වෙත පියමැන්නේය. පන්සල් වත්තේ එළිමහන් ප්‍රදේශයක යුධ රථ නවත්වා තිබෙන අයුරුත්, තවත් පසෙක කවයක් සේ මිනිසුන් රැස්ව සිටින අන්දමත් ඔවුන් දුටුවහ. කවය මධ්‍යයේ මිනිසුන් විවිධ ශිල්ප දක්වමින් සිටියහ. එක පසෙක ධනුර්ධයින්,තවත් පසෙක අංගම් සටන් කරුවන්,තවත් පසෙක තෝමර විසිකරන්නන්,කඩු සටන් කරන්නන් ආදී වශයෙන් ශිල්ප දැක්වූහ. මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටි උත්තුංග දේහ ධාරී පුද්ගලයින් තිදෙනෙක් ආවරණයක් යටට වී හිඳ සිටියහ. එයට පසෙකින් භේරි වාදකයින් රණ හඬ නංවමින් සිටියහ. රැස්ව සිටින ජනතාව අතරට ගිය හබතා සෙනෙවිවරුන් පිළිබඳව එකෙකුගෙන් විමසුවේය.

“ආං අතන මැද්දේ අසුන් ගෙන ඉන්නේ වේළුසුමන මහ සෙනෙවිතුමන්. ඊට දකුණු පසින් නන්දිමිත්‍ර සෙනෙවිතුමන්. අනෙක් පසින් මහාසෝණ සෙනෙවිතුමන්. ”

අසල තිබූ කඩාවැටුණු පොල් කඳක් මත මැණිකාද සමගින් හිඳගත් හබතා බොහෝ වෙලාවක් මුළුල්ලේ හේවායින් තේරීම දෙස බලා සිටියේය. අසල ගම්වල කුඩා ළමුන් හා කාන්තාවන්ද හේවායින්ගේ ශිල්ප දැක්වීම දෙස බලාසිටියහ. එහි සිටි කුඩා ළමුන් හේවායින් අනුකරණය කරමින් කෙළි සෙල්ලමේ යෙදෙන්නට විය.

හිරු බැස යාමට කිට්ටු වී ගැමුණු සේනාවට තවත් හේවා කාණ්ඩයක් තේරී පත්වී තිබිණි. සියලු කටයුතු අවසානයේ රණ භේරි නාදය මැදින් රණ ගී ගැයූ හේවායින් මහා සේනාවට සම්බන්ධ වීම සඳහා පිටත් වීමට ආයුධ අම්පන්න, යුධ රථ ආදිය පිළියෙළ කර ගත්හ. ඊට මත්තෙන් එම ස්ථානයට වැඩම කළ මහා සංඝ රත්නය ගැමුණු මහ රජතුමන්ටත්, සෙනෙවිවරුන්ටත්, හේවායින්ටත්, මුළු මහත් රට වැසියාටත් ආශිර්වාද කරමින් පිරිත් සජ්ඣායනා කළ සේක.

පිරිත් දේශනාව අවසන් වනවාත් සමගම හබතා ඩිංගිරි මැණිකාද සමගින් සෙනෙවිවරුන් වෙත කිට්ටු කළේය. සෙනෙවිවරුන් සිටි අට්ටාලය අසලට යන විටම හබතා කිසියම් දෙයක පැකිලී වැටෙන්නට ගියේය. ඇසිපිය ලන ක්ෂණයෙන් එතනට පැනගත් මහාසෝණ සෙනෙවිතුමන් හබතා වැටෙන්නට නොදී අල්ලා ගත්තේය. සෙනෙවිතුමා සතුවූ වේගය, අවධානය හා ශක්තිය කෙරෙහි පුදුමයෙනුත් පුදුමයට පත් වූ ඩිංගිරි මැණිකාගේ මුව විවර වී තිබූ බව ඇයවත් දන සිටියේ නැත.

“අයියණ්ඩි හෙමීට . . බලාගෙන”

“පින් සිද්ධ වෙච්චාවේ” හබතා සෙනෙවි තුමන් දෙස බලා කෘතවේදිව සිනාසුනේය. “මට මහා සෙනෙවි තුමන් බැහැ දකින්න උවමනායි. ”

“හා එමු එමු හෙනං”

හබතා ඩිංගිරි මැණිකෙත් කැටුව බිය මුසු ගෞරවයකින් වේළුසුමන මහා සෙනෙවිතුමන් වෙත කිට්ටු කළේය.

“නුඹ ආ කාරිය කියපන් මලණ්ඩි.” මහා සෙනෙවි තුමන් සිය ප්‍රතාපවත් හඬ අවදි කළේය.

“අවසරයි ආයුබොවං, මටත් ගැමුණු සේනාවට එක්කාසු වෙන්න උවමනායි.” හදමින් සිටි බුලත් විට ආපසු හෙප්පුව මතින් තැබූ මහ සෙනෙවිතුමන් හබතා දෙසද, ඩිංගිරි මැණිකා දෙසද, අනතුරුව තමන් දෙපස සිටි සෙනෙවිවරු දෙපල දෙසද බැලීය.
මද නිහඬ තාවයකින් අනතුරුව පසෙක හිඳසිටි නන්දිමිත්‍ර සෙනෙවිතුමන් උන් තැනින් නැගිට හබතා අසලට පැමිණියේය. හබතා ඔහු දෙස කෙලින් බලනු නොහී බිම බලාගත්තේය. වේළුසුමන මහා සෙනෙවි තුමන්ද පුදුමයට පත්වූ මුවින් හබතා අසලට පැමිණියේය.

“ආයෙත් කියපන් මලණ්ඩි. කුමක්ද නුඹ කීවේ?” වේළුසුමන මහා සෙනෙවි ඇසුවේය.

කිහිලි කරුවට වාරු වී මදක් කුදු ගැසුනු සේ සිටි හබතා එවර ඍජුව සිටගෙන පෙරටත් වඩා ගාම්භීර ලෙස කතා කළේය.

“මටත් හටන් කරන්න ඇහැකියි ආයුබොවං”

පසෙක සිටි හේවා කාණ්ඩයකට හබතා කී දෙය ඇසුණි. ඒ අතරම උන්ගෙන් දෙදෙනෙකුගෙන් සිනා හඬක් ඇසුණි. හබතා නොසැලී වේළුසුමන මහා සෙනෙවි තුමන්ගේ දෑස් දෙසම බලා සිටියේය. සිනාසුනු හේවායින් දෙදෙනා අසලට ගිය නන්දිමිත්‍ර සෙනෙවි උන් දෙදෙනා ඉදිරියේ ඍජුව සිටගත්තේය. අනතුරුව රැස්ව සිටි පිරිස නන්දිමිත්‍ර සෙනෙවිතුමන්ගේ දකුණත පමණක් මදක් චලනය වනු දුටුවේය. ඊට ක්ෂණයකට පසු ගුවනේ පාවී ගිය හේවායින් දෙදෙනාගෙන් එකෙකු අසල තිබූ යුධ රථයක වැදී බිම වැටුණු අතර අනිකා පසෙක තිබූ තෝමර තොගයක්ද පෙරලා ගෙන විසි වී ගියේය. නන්දිමිත්‍ර සෙනෙවිතුමන්ගේ තියුණු බැල්මට අසුවිය නොහී අනෙක් හේවායින් සියලු දෙනා දෑස් බිමට යොමු කළහ.

“තොපි යුද්ධ කරන්න ඉස්සරින් සිංහලයාගේ සිංහල කමට ගරු කරන්න ඉගෙන ගනියවු.” මේඝ ඝර්ජනාවක් සේ ගිගිරූ සෙනෙවිතුමන් කොන්ද අල්ලාගෙන බිම වැටී ඇඹරෙමින් සිටි හේවායින් දෙදෙනා දෙසට රුදුරු බැල්මක් හෙලා යලිත් හබතා අසලට පැමිණියේය.

“අයියණ්ඩි උඹ කොහොමද මෙහෙම ඉඳන් හටන් කරන්නේ?” මහාසෝණ සෙනෙවිතුමන් විමසුවේය.

“පුළුවනි ආයුබොවං , කකුලක් නැති උනාට මගේ ඇඟ පත තවමත් හයියයි. ”

හබතා කියූ පරිදි ඔහුගේ ඇඟ පත කෙසේ වෙතත් සිතෙහි වූ යෝධ ශක්තිය සෙනෙවිවරුන්ටත් වැටහී ගියේය. සෙනෙවිවරුන් කිසිත් සිතා ගත නොහැකිව උභතෝකෝටික තත්ත්වයකට පත්ව සිටියහ.
වේළුසුමන මහා සෙනෙවි අනික් සෙනෙවිවරුන් දෙදෙනා පසෙකට කැඳවාගෙන ගියේය. මද වෙලාවකට පසු යලිත් හබතා අසලට පැමිණි වේළුසුමන මහා සෙනෙවි හබතා ඇමතුවේය.

“මලණ්ඩි නුඹ දැනටමත් ගැමුණු සේනාවේ තමයි. ”

කිසිත් වටහා ගත නොහී හබතාත් ඩිංගිරි මැණිකාත් ඔහේ බලා සිටියහ.
“මලණ්ඩි මේ රටේ යුද්ධ දෙකක් තිබෙනවා. එකක් තමයි සිංහලයාගේ උරුමය රැක ගැනීමේ යුද්ධය. ඒකට තමයි අපි මේ හටන් කරන්නේ. ඒකට හේවායෝ පුහුණු කරන්න ඇහැකියි. ඒත් අනික් යුද්ධයට හේවායෝ පුහුණු කරන්න බෑ. ඒ යුද්ධය තුන්කාලයේම පවතිනවා. ඒ යුද්ධය තමයි සිංහලයාගේ සිංහලකම රැක ගැනීමේ යුද්ධය. ඒ යුද්ධය ලේසි පහසු යුද්ධයක් නෙමෙයි බොල. ඇඟේ හයියට ඒ යුද්ධ දිනන්න බෑ. ඒකට ඕනේ උඹලාගේ කැවුතු අස්සේ හිරවෙලා තියෙන රට ජාතියට ඇති ඇල්ම - මේ රට ගැන අභිමානය. මලණ්ඩි උඹ හේවායෙක් වෙන්නේ අන්න එතැනදී. උඹේ කකුල නැතුවත් උඹ යුද්ධෙට යන්න හදන්නේ ඇයි කියලා අපේ මිනිස්සුන්ට, අපේ පැටවුන්ට කියා දීපන්. උඹේ හිතේ හයියට උඹේ හිතේ තියෙන සිංහල කමට මම හිස නමනවා. ” වේළුසුමන මහා සෙනෙවි මදක් හිස පහත කොට කතා කළේය.

“ඒත් මලණ්ඩි මේ යුද්ධෙට නෙමෙයි උඹ සුදුසු. උඹ මෙහෙ ඉඳන් සිංහලකම රකින යුද්ධේ කරපන්. අපි පරයින්ව කඩු ගාන්නම්. ”

මදක් ඈතින් සිටි ජනයා වේළුසුමන සෙනෙවිතුමන්ගේ කතාව අසා ප්‍රීති ඝෝෂා කරන අතරතුර තම කකුල අහිමි වීමෙන් පසු පළමු වරට හබතා කඳුළු සැලීය. ඩිංගිරි මැණිකා ද අසල තිබූ කණුවක හිස ගසාගෙන හඬන්නට විය. තමන්ට හැඬුම් ආවේ තම දයාබර සැමියාගේ සිතැඟි ඉටු නොවූ දුකට ද නැතහොත් තම සැමියා කෙරෙහි වූ මහා අභිමානය තුළින් උපත ලද සතුටට ද නැතහොත් ඒ දෙකටම දැ’යි ඩිංගිරි මැණිකා කල්පනා නොකළාය. 

“උඹ හේවායෙක් නෙමෙයි මලණ්ඩි. උඹ මහ සෙනෙවියෙක් !” නන්දිමිත්‍ර සෙනෙවි තුමන් කීවේය.

සෙනෙවිවරුන්ට ආචාර කළ හබතා මැණිකාද කැටුව රැස්ව සිටි පිරිස අතරින් සෙමින් සෙමින් ඉදිරියට ඇදුනේය. වැලි පොළව මත හබතාගේ පා සලකුණත් සමගම කිහිලිකරු සලකුණත් වැදුණේය ය. ජනයා අතර සිටි කුඩා පැන්චෙකු දෑත් එකතු කොට තමන්ට ආචාර කරනු දුටු හබතා ඔහු දෙස බලා සිනාසුනේය.

Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

කපටියා - කෙටි කතාව