කපටියා - කෙටි කතාව






“අම්මේ.. මං කැෆේ එකට් යනවා.” දොරවසා දමමින් මම ගේට්ටුව දෙසට ඇවිද ගියෙමි. ‘වැඩි වෙලා ගන්නේ නැතුව එන්න’ අම්මා ගෙතුළ සිට හඬ නගනවා ඇසිණි. පාසලෙන් දුන් පැවරුමකට කරුණු සෙවීමට මට අන්තර්ජාලය භාවිතා කිරීමට සිදු වී තිබුණි. නිවසේ අන්තර්ජාල පහසුකම් තබා පරිගණකයක්වත් නොතිබුණු බැවින් මට ඒ සඳහා ‘නෙට් කැෆේ’ වෙත යාමට සිදු විය. වෙලාව සවස පහ පමණ වී තිබුණු නිසා සිය රැකියා අවසන් කොට නිවෙස් බලා යන සෙනඟින් මං මාවත් පිරී තිබිණි. පාරේ වාහන සංඛ්‍යාව වැඩි නිසාම තදබදය ද තදින්ම තිබිණි. ‘දැන් පැමිණි දුම්රිය’  වෙත කඟවේනුන් සේ දිවයන මිනිසුන්ගෙන් බේරී මම වඩාත් කාර්යබහුල ප්‍රධාන පාරකට පිවිසියෙමි. නගරයේ වූ කලබලකාරී, කාර්යබහුල වටපිටාවට මා බෙහෙවින් අකමැති වූවද එහි ගැවසෙන විවිධාකාර මිනිසුන් නිරීක්ෂණය කීරීමට, ඒ අතරින් ඇවිද යාමට මම ආශා කළෙමි.

“මල්ලි.. මල්ලි..”

පිටුපසින් ඇසුණු හඬ නිසා මම නැවතී පිටුපස බැලුවෙමි. අවුරුදු තිහකට නොවැඩි වයසක වූ පුද්ගලයෙකු මා පිටුපසින් විය. අළු පැහැති ටි ශර්ට් එකකිනුත්, ඩෙනිම් කලිසමකිනුත් සැරසී උන්  ඔහු හිස් වැසුමක් ද පැළඳගෙන සිටියේය.

“මල්ලි මේ පාරෙන් අවිස්සාවේල්ල පැත්තට බස් ගන්න පුළුවන්ද?” හේ විමසීය.

“බෑ.. එහා පැත්තේ මේන් රෝඩ් එකට යන්න. අර පැත්ත අවිස්සාවේල්ල. ඔය ඔතනින් එහා පාරට යන්න පුළුවන්.” මම අතින් දිශාව සන් කරමින් ඔහුට පැවසුයෙමි. මා ද ගමන් කළේ ප්‍රධාන පාරට බැවින් ඔහුද මාත් සමඟව පැමිණියේය.

“මල්ලි මට  පොඩි කරදරයක් වුණානේ. මගේ පර්ස් එක පික් ගහලා. මට ඇහැළියගොඩට යන්න ඕනේ. මට උදව් කරන්න මල්ලි. බස් එකට ටිකට් එක අරන් දෙන්න මට.” ඔහු ආයාචනාත්මකව පැවසිය. ඔහු දෙස කෙටි බැල්මක් හෙලූ මට අසරණ බවින් මිරිකී ගිය ඔහු ගෙ වත දැක ගැනීමට හැකි විය.  නමුත් මා අත වූයේ සුළු මුදලකි. 

“වැඩිපුර කීයක්වත් නෑ අයියේ. මාත් මේ ඉස්කෝලේ වැඩකට යන ගමන්.”

“අනේ එහෙම කියන්න එපා මල්ලි. මට ගෙදර යන්න විදියක් නෑ.”

වැඩි හේතු දක්වන්නට යාමෙන් මොහු ‘වාතයක්’ විය හැකි නිසාම මම එය නෑසුනාක් සේ ප්‍රධාන පාර හරහා අනෙක් පසට මාරු වූයෙමි. ඔහු දෙස බැලීමෙන් පමණක් මේ සැබවින්ම කපටියෙකු ද, අසරණයෙකුද කියා හරිහැටි වටහා ගැනීමට තරම් හැකියාවක් මට නොතිබුණත්, මේ නම් කපටියෙකු යැයි සියුම් සැකයක්ද හටගෙන තිබිණි.

මා ගිය කාර්යය කරනා අතරතුරදීත් විටින් විට සිහියට ආ ඒ පුද්ගලයා කෙරෙහි සැකයක් හා අනුකම්පාවක් මා සිත තුළ තරඟ කරන්නට විය. සැබවින්ම ඔහු අත මුදල් නොමැතිනම් ඔහු කෙසේ තම නිවස වෙත යයිද? ඔහු කපටියෙකුනම් හොඳින් වැඩුණු සිරුරක් ඇති ඔහු මෙසේ ලජ්ජා සහගත ලෙස මුදල් සොයන්නේ ඇයි?
ඊට අවුරුදු දෙක තුනකට ඉහතදී වූ සිදුවීමක් මගේ මතකයට නැගිණ. දහම් පාසලේ කටයුත්තකට සහභාගී වුණු මට එදින රාත්‍රියේ නිවෙස වෙත තනිවම පැමිණීමට සිදු විය. පාසැල නිමා වී මා තනිවම බසයෙන් පැමිණියත්, ඒ පොඩි වයසේදී ඊට පෙර මා එතරම් රෑ බෝ වී තනිවම ඇවිත් නොතිබුණි. බස් නැවතුම්පොළේදී හමු වුනු පුද්ගලයෙකු මෙවැනිම දුක් ගැනවිල්ලක් පවසා මගෙන් රුපියල් විස්සක් ඉල්ලා ගත්තේය. නියම දහම් පාසල් දරුවකු සේ නිතරම අන් අයට උදව් කීරීමට සැදී පැහැදී සිටි මට ඔහුගේ දෑසෙහි වූ කපටි බැල්ම හඳුනා ගැනීමට නොහැකි විය. ඔහුත් සමඟම අසල වූ කඩයකට ගිය මම මා අත වූ රුපියල් පනහේ නෝට්ටුව මාරු කර ඔහුට රුපියල් විස්සක් දුන්නෙමි. වයසින් මොරද්දී මගේ සිත එදින මා කපටියෙකුට හසු වුණා යැයි කියයි.

එදින කාර්ය නිමා කළ මම යළි නිවස බලා ගමන් කළෙමි. මඟ දෙපස දෑස් විහිදුවමින් මා ගමන් කළේ නැවත ඔහු දැක හොඳින් නිරීක්ෂණය කරනා අටියෙනි. එහෙත් ඔහු දක්නට නොවීය. සමහරවිට ඔහුට කෙනෙකුගෙන් උදව් ලැබුණා විය හැකිය.  එසේත් නොමැතිනම් ඔහුගේ කපටිකමට කවුරුන් හෝ හසු කරගෙන ඒ ගැන සිතා උදම් අනනවා විය හැකියි.  එය ඔහු කපටියෙකුද, අසරණයෙකුද යන්න මත රඳා පවතියි. 

මෙම සිදුවීමෙන් වසරකට පමණ පසුව අලසව පාරේ ඇවිද ගිය මට ඉදිරියෙන් දැකගත හැකි වූයේ සුපුරුදු මුහුණකි. කොළ පැහැති සිරුරේ ප්‍රමාණයට වඩා විශාල ටී ෂර්ට් එකකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී ඔහු පාර අයිනේ සිටගෙන සිටියේය. මීට අවුරුද්දකට පමණ ඉහතදී ද හමු වී තිබුණු ඔහු දුටු සැනින් හඳුනා ගැනීමට මට අපහසු වූයේ නැත. මම ඔහු නොදුටුවා සේ ඉදිරියට ඇවිද ගියෙමි. ටික වෙලාවකට පසුව පිටුපසින් මා අමතන හඬක් ඇසිණ. 

“මල්ලි මල්ලි මට පොඩි උදව්වක් කරනවද ?” මම ඔහු දෙස හැරී බැලුවෙමි.

“මල්ලි අවිස්සාවෙල්ලට බස් එකක් ගන්න පුළුවන් කොතනින්ද ?” මට නැගුණු සිනහව සෑහෙන අපහසුවකින් යුතුව මම සිර කර ගත්තෙමි. සිනහව පිට නොපැනීමට මම පිටි අල්ලෙන් වැරෙන් නහය පොඩි කළෙමි .

“අර අතන තියෙන හෝල්ට් එකට යන්න.”

“මල්ලි මට පොඩි කරදරයක් වුනා නේ. මම ඇහැලියගොඩ ඉන්නේ, මේ පැත්තෙ රස්සාවක් හොයාගෙන ආවේ. මගේ පර්ස් එක පික් ගහල අතේ සතයක් වත් නෑ. පුළුවන්නම් මට අවිස්සාවේල්ලට ටිකට් එකක් අරන් දෙන්න. “

ඔහුගේ සෝ බර  දුක්ගැනවිල්ල මම මහත් අපහසුවෙන් සිනහව යට කර ගනිමින් අසා සිටියෙමි. මේ නම් ලෝකය කා වතුර බී  අතුරුපසට චන්ද්‍රයා ගිලදැමූ කපටි නරියෙකි. ඔහු මේ කපටිකම කී දෙනෙකුට කර ඇත්ද කියනවා නම් ඔහුට මා පිළිබඳව හාන්කවිසියක් මතක නැත. 

“අයියට එක දවසකුත් ඕක උනා නේද ?” කට කොනින් වළකනු නොහී එළියට පැන්න සිනහවක් සමගින් මම විමසුවෙමි. අන්දුන් කුන්දුන් වී ගිය ඔහු කපටි නෝන්ජල්  සිනහවක් පෑවේ ය .

“අහ් සොරි මල්ලි සොරි.” 

ඔහු කඩිමුඩියේ එතනින් ඉවත්ව ගියේ ය. නුදුරින් පොලිස් නිලධාරියෙකු සිටියත් ඔහුව අල්ලා දීමට මට සිත් නොවීය. එක හේතුවක් නම් අහක යන කරදර හිස උඩ දමා ගැනීමට මා අකමැති වූ නිසයි. අනෙක් අතට ඔහු කෙරෙහි අනුකම්පාවක් වන් හැඟීමක් ද මා සිතේ ඇති වන්නට ඇත. මම තනිවම සිනහවෙමින් මගේ ගමන ගියෙමි. පෙර මොහු මුණගැසුණු මොහොතේදී ඔහුගේ කපටි කමට හසු නොවීම ගැන මම සතුටු වූයෙමි. බොහෝ මිනිසුන් ඔහුගේ කපටි කමට හසු වන්නට ඇත. වාසියක් නොමැති නම් මෙතුවක් කල් ඔහු මෙය නො කරනු ඇත. ඔහුට උපකාර කරන්නන් එය කරන්නේ යහපත් චේතනාවකින් විය යුතු ය . මොහුගේ මේ කපටි කම පිළිබඳ ඉවක්  වත් වැටුණා නම් කිසිවෙකු මුදල් නොදෙනු ඇත. අඩු තරමින් මා ඔහුගේ කපටි කම හඳුනාගත්තා යැයි කියා ඇඟවීම ගැන මම සෑහීමට පත් වූයෙමි. 

මිනිසුන් වටහා වටහාගැනීම කලාවකි. එය ලොව ඇති අපහසුම කලාවයි. එම කලාව ප්‍රගුණ කළ තැනැත්තා සමාජයේ නොයෙක් කරදර වලින් බේරෙයි. පොතේ දැනුමින් මෙය කළ හැක්කක් නොවන අවස්ථා වැඩිය. සමහරු සිතෙහි ඇති දෑ සඟවා ගෙන වෙනත් අයුරකින් ක්‍රියා කරයි. වදන් තෙපළයි. තමන් අනෙකාව පහසුවෙන් රවටන බව සිතා සිතින් ප්‍රීති ඝෝෂා නගයි . නමුත් ඒ අතර ඔවුන්ගේ දෑස් පමණක් නොව එහා මෙහා සෙලවෙන අතපය හා වචන ඔවුන්ටත් හොරා ඔවුන්ගේ සිතැඟි අපට අඟවන බව ඔවුන් නොදනී. අප ඔවුන්ට අනුකම්පාවෙන් යුතුව සිනාසෙන්නෙමු. මේ අතර තවත් සමහරු අප කනින් රිංගා බොහෝ වේලාවක්, තප්පර කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් යන තුරු අපට ඒ ගැන වගක්වත් නැත. ඒ කලාව ප්‍රගුණ කළ  අයට බහුතරයක් මිනිසුන් පෙනෙන්නේ කපටියන් ලෙසය. එය එම මිනිස්සුන්ගේ වැරැද්ද මෙන්ම කළාකරුවාගේ වැරැද්ද ද විය හැකිය. 

මේ සිදුවීමෙන් අනතුරුව තවත් කාලයක් ගත විය.

එක් දිනෙක අතේ රැඳි රුපියල් 100 නෝට්ටුව එහා මෙහා නවමින් මම බසයක් එනතුරු නොඉවසිල්ලෙන් සිටියේ ඒ වන විටත් මා යම් ගමනකට ප්‍රමාද වී සිටි බැවිනි. කොහේදෝ සිට මා ඉදිරියට පැමිණි පුද්ගලයෙකි. ඔහු හඳුනා ගැනීමට මට අපහසු නොවීය නොවිය. ඔහුව දුටුවේ  වසර තුනකට පමණ ඉහත දී වුවත් දුටු වනම ඔහු හඳුනා ගැනීමට තරම් ඒ කපටි දෑස මාගේ මතකයේ විය. බොහෝ කලකට පසුව තුන්වන වරටත් ඒ පුද්ගලයා මුණ ගැසීම පුදුමයකි. 

මුහුණ පුරා තැන් තැන්හි වූ රැවුල් කොට යන්තමින් ඉදී ගොසිනි. සායම් සේදී ගොස් අවර්ණ වූ කමිසයකිනුත්  ඩෙනිම් කලිසමකිනුත් ඔහු සැරසී සිටි අතර පහතට වන්නට දැමූ හිස් වැසුමක් ද විය. 

“මල්ලි අවිස්සාවේල්ලට යන බස් ගන්න පාරේ එහා පැත්තට යන්න ඕනෙද ?” 

ඔහු මේ ප්‍රශ්නය හීනෙනුත් කියවනවා ඇතැයි මම සිතුවෙමි. මම මද සිනාවෙන් යුතු ව ටික වේලාවක් ඔහු දෙස බලා සිටියෙමි. 

“ඇයි අයියට ඇහැලියගොඩට ද යන්න ඕනේ ?” මම ඔහුගේ දෑස දෙස එක එල්ලේ බලා ඇසුවෙමි.   
මෙවැනි කපටියන්  මෙවන් කපටි වැඩ කරන්නේ කපටි කමින් ම ය. ඔවුන් බොහෝවිට ආක්‍රමණශීලී නොවෙයි. අනෙක් අතට බස්නැවතුම්පොලේ පිරිස අතරෙහි මට බියක් දැනුණේ නැත.

 “අනේ නෑ මල්ලි.. මට මේ.. පුවක්පිටියට යන්නයි ඕනි.. ඇයි මේ.. මල්ලි.. ඇයි මල්ලි ඇහැලියගොඩ ද?” ඔහුගේ වදන් වෙව්ලයි.

“නෑ ඉතින් හැමදාම ඇහැලියගොඩටනේ යන්න ඕන. මට බස් එක ආවා.”  ඒත් සමගම මට බස් රථයක් පැමිණි බැවින් මම එම බස් රථයට ගොඩවන්නට ගියෙමි.

“හරි මල්ලි කමක් නෑ.”

බසෙහි පිටුපසම අසුනෙ හිඳ ගැනීමට ගිය මම පිටුපස වීදුරුව හරහා ඒ පුද්ගලයා බඩක් අකුළමින් ලොකු හුස්මක් පිට කරනු දුටුවෙමි. මතුව ආ  සිනහව වළකා ගත් මම ට්කට් ගන්න යැයි බෙරිහන් දෙන කොන්දොස්තර මහතා වෙත මුදල් දිගු කළෙමි.
මේ කතාව කියෙව්වනම්, අනිවාර්යයෙන් මේ ලිපියත් කියවන්න.

Comments

  1. Titanium Arcellated Brass Enamel Slot - Casino.com
    Get ready to mens wedding bands titanium spin your magic in this titanium hair straightener slot machine dental implants from Titanium. Featuring free spins, microtouch solo titanium amazing paylines and how to get titanium white octane the highest quality, this slot machine is the $11.95 · ‎In stock

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

හදවත නැවතුණු මොහොතක් - කෙටි කතාව